Action with a heart -sinhala

Sunday, September 5, 2010

පසුගිය වසරේ වැඩිම ආදායම් ලැබුවේ ජාතික රූපවාහිනියයි ප්‍රසන්න ජයසුන්දර නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් (අලෙවි

විද්යුත් මාධ්‍ය තරගකාරී බවින් ඉදිරියට ගමන් කරද්දී ඊට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ද ක්‍රියා කිරීම පැසසිය යුක්‌තකි. පෞද්ගලික නාලිකා බොහෝ අවස්‌ථාවල ශ්‍රී ලාංකික සංස්‌කෘතිය, සදාචාරය පිළිබඳ එතරම් අවධානයක්‌ යොමු නොකළත් ජාතික රූපවාහිනිය එකී සීමා මායිම් කඩා බිඳ දැමීමට ක්‍රියා නොකිරීම එහි සදාචාරත්මක අනන්‍යතාවයි. රටක ජාතික නාලිකාව ඒ රටේ සංස්‌කෘතිය, සදාචාරය පමණක්‌ නොව අභිමානය ද විය යුතුය. ජාතික රූපවාහිනිය ඒ සියලු තත්ත්වයන් රැක ගනිමින් මේ වන විට අනෙකුත් නාලිකා අභිබවමින් මූල්‍යමය ප්‍රතිලාභ අංශයෙන්ද පෙරමුණ ගෙන ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් ප්‍රසන්න ජයසුන්දර මහතා පැවැසීය.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ආරම්භ කළ යුගයේ කිසිම තරගයක්‌ තිබුණේ නැහැ. තරග කරන්න වෙනත් නාලිකා තිබුණේ නැහැ. නමුත් පෞද්ගලික නාලිකා ආරම්භ වුණාට පස්‌සේ නවීන තාක්‌ෂණයත් එක්‌ක ලෝකයේ විවිධ නාලිකාවල විකාශය කෙරෙන ජනප්‍රිය රැල්ලේ වැඩසටහන් අනුකරණය කරමින් විකාශය කරන්න පටන් ගත්තා. අපට අද වන විට එවැනි නාලිකා 16 එක්‌ක තරග කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක විශාල අභියෝගයක්‌ වුණත් මහජනතාවගේ පිළිගැනීම හා විශ්වාසය එදා සිට අද දක්‌වා නොවෙනස්‌ව පවතින නිසා ජාතික රූපවාහිනිය කිසි දවසක දෙවැනියා වුණේ නැහැ. මේ රටේ තියෙන දැවැන්තම නාලිකාව හැටියටත් හොඳම වැඩසටහන් සහිත නාලිකාව හැටියටත් මෙය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්‌තිය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය මගිනුයි. ජාතික රූපවාහිනිය සමග තවත් ප්‍රධාන නාලිකාවක්‌ අපට තිබෙනවා. එම අනෙක්‌ නාලිකාව මගින් දහවල් කාලයේ නේත්‍රා නමින් දෙමළ ජාතික ප්‍රේක්‌ෂකයන් උදෙසා වැඩසටහන් විකාශය කරනවා. රාත්‍රියේදී චැනල් අයි නමින් ක්‍රීඩා විකාශයක්‌ සිදු කෙරෙනවා. අපේ ගනුදෙනුකරුවන් සතුටට පත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව අපි ක්‍රියා කරනවා. අපිත් එක්‌ක එදා කාලයේ පටන් සිටි ගනුදෙනුකරුවන් තවදුරටත් රැක ගනිමින්, අලුත් ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් එකතු කර ගැනීම අපගේ කාර්යයි. මෙතැනදී වෙළෙඳ ප්‍රජාවගේ දැඩි නීති රීතිවලට අවනත නොවී ක්‍රියා කරන්න අපි වග බලා ගන්නවා. ඇතැම් නාලිකා වෙළෙඳ අරමුණු මත බාල වැඩසටහන්වලට වැඩි ප්‍රචාරයක්‌ ලබා දෙමින් බලහත්කාරයෙන් ඒවා ප්‍රේක්‌ෂකයන් අතර ජනප්‍රිය කරවන්න උත්සාහ කරනවා.

කිසියම් වැඩසටහනක ඕනෑවට වඩා ආරවුල් ස්‌වභාවයන් ඉස්‌මතු කළා ම ඒවාට මහජනතාවගේ තර්ක විතර්ක මතුවෙද්දී එවැනි වැඩසටහනක්‌ අතරතුර වෙළෙඳ දැන්වීමක්‌ ප්‍රචාරය කිරීමෙන් වෙළෙඳ ආයතනයේ අපේක්‌ෂාව ඉටු වෙන්නේ නැහැ.

වෙළෙඳ විරාමයකදී ප්‍රේක්‌ෂකයාගේ මනස නිදහස්‌ නම් පමණයි වෙළෙඳ දැන්වීමට හිත යොමු වෙන්නේ. ජනප්‍රිය රැල්ල පස්‌සේ ගිය වෙළෙඳ ආයතන අද වන විට අප වෙත වැඩි වශයෙන් නැඹුරුවී ඇත්තේ මේ යථාර්ථය ඔවුන්ගේ ප්‍රායෝගිකව අත්දුටු නිසා විය හැකිය. අනික අපි අපේ වැඩසටහනකට අනුග්‍රාහකයන් තෝරා ගනිද්දී ඒ වැඩසටහනේ අන්තර්ගතයට වඩාත්ම සුදුසු වෙළෙඳ ආයතනය තෝරා ගන්න ක්‍රියා කරනවා. නොගැලපෙන ආයතනයක්‌ වැඩි මිලකට ඉල්ලුවත් අපි දෙන්නේ නැත්තේ ඒකයි. මේ වනවිට වැඩිම ආදායමක්‌ ලබන රූපවාහිනි ආයතනය බවට අපි පත්වෙලා ඉවරයි.

පසුගිය වසරේ ආදායම් 14% කින් වැඩිවෙලා තියෙනවා. මේ වසරේ පළමු මාස හයේදීම අදාළ ඉලක්‌ක අභිබවා ගොස්‌ තිබෙනවා. ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක්‌ මාසයක්‌ ඇතුළත ලැබූ වැඩිම ආදායම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව පසුගිය මාසයේ දී උපයා ගනිමින් එය වාර්තාවක්‌ බවට පත් කර තිබෙනවා. අපේ ප්‍රේක්‌ෂකයන්, අනුග්‍රාහකයන් වෙළෙඳ නියෝජිතයන් වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය ඇතුළු සියලුම අංශවල කාර්යක්‍ෂමතාව නිසා මෙවැනි ප්‍රගතියක්‌ දිනෙන් දින අපට හිමි වන බව මම ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අතර ඒ සියලු දෙනාටම අපගේ ස්‌තුතිය පළ කරනවා. ප්‍රසන්න මහතා පැවැසීය.

ජාතික රූපවාහිනිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහි වැඩබලන අධ්‍යක්‌ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ මහතා සමග ද අපි සාකච්ඡා කළෙමු.

ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා

දේවප්‍රිය අබේසිංහ වැඩ බලන අධ්‍යක්‌ෂ ජෙනරාල්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව

"අපේ වැඩසටහන් සියල්ලම වගේ අපි අලුත් ආරකට ඉදිරිපත් කරගෙන යනවා. ඉතාම මෑතකදී ඒ වෙනස්‌කම් සිදු කළා. රාත්‍රි 10 න් පසුව විකාශය කෙරෙන වැඩසටහන්වලට ප්‍රේක්‌ෂක ප්‍රතිචාරය තරමක්‌ අඩුවෙලා තිබුණා. නමුත් මේ වනවිට රාත්‍රි 10 න් පසුව විකාශය කරන වැඩසටහන්වලට විශාල ඉල්ලුමක්‌ ඇති වී තිබෙනවා. නව සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ පැමිණීමෙන් පසු මෙම වෙනස්‌කම් සිදු කළා. විශේෂයෙන්ම අපි රාත්‍රි 10.05 ට අලුත් විකාශන කාලයක්‌ හඳුන්වා දුන්නා. සතියේ දිනවලින් එක දවසක්‌ දේශපාලන වැඩසටහනකට වෙන් කළා. අනිත් දවස්‌වල සංගීතමය වැඩසටහන් කලාත්මක වැඩසටහන් චිත්‍රපට විනෝදාත්මක වැඩසටහන් අපි විකාශය කරනවා. මේ සඳහා ඉහළම ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒත් එක්‌කම දිනපතා රාත්‍රි 9.00 අපි ටෙලි නාට්‍ය සඳහා වෙන්කර තිබෙනවා. දැනට අපි ඒ වෙලාව ප්‍රේක්‌ෂකයන්ට හුරුවීම සඳහා කලින් විකාශය වුණු වැඩි ප්‍රතිචාර ලැබුණු ටෙලි නාට්‍ය නැවත විකාශය කරනවා. ඉදිරියේදී අලුත් ටෙලි නාට්‍ය ඒ වෙලාවට විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් ටෙලි නාට්‍ය 150 ක්‌ පමණ විකාශය සඳහා වේලාවන් ලබාදීමට පෝළිමේ තිබෙනවා. අනෙකුත් නාලිකාවල ටෙලි නාට්‍ය ඕනෑතරම් විකාශය වූවත් තවමත් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙන්නේ ජාතික රූපවාහිනිය ඔස්‌සේ ටෙලි නාට්‍යයක්‌ විකාශය කිරීමටයි. ඔවුන් ඒ වෙනුවෙන් අවුරුදු දෙක තුනකට වැඩිය වුවත් බලාගෙන ඉන්නවා. මේ නිසා ටෙලි නාට්‍ය සඳහා විශාල තදබදයක්‌ අපට තියෙනවා. මේක අපි මුහුණ පාන විශාල අර්බුදයක්‌ බවටත් පත්වෙනවා. ටෙලි නාට්‍යවලට අමතරව සති අන්තයේ විශේෂ වැඩසටහන් කිහිපයක්‌ හඳුන්වාදී තිබෙනවා. වැඩි ඉල්ලුමක්‌ ඇති ආයුබෝවන් වැසටහනත් නව ආරකින් විකාශය කරනවා. අලුත් ගීත රැසක්‌ අපි ඉදිරිපත් කරනවා. ජනප්‍රිය සංගීත කණ්‌ඩායම් හා නවක ගායක ගායිකාවන්ට අවස්‌ථාව උදාකර දෙන වැඩසටහන් අපි අලුතෙන් හඳුන්වා දුන්නා. ලබන මාසේ සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා. තේමා වාදනයේ සිට සියල්ලම වෙනස්‌ කරන අතර පක්‌ෂ භේදයකින් තොරව සමබර ප්‍රවෘත්ති ගෙන එන්නත් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ අවස්‌ථා රූපවාහිනි වැඩසටහන් ඔස්‌සේ ලබා දෙන්නත් අපි පියවර ගෙන තිබෙනවා. මේක ඉදිරියේදී ලොකු වෙනසක්‌ වගේම ඉහළම ප්‍රතිචාර ලැබේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ඒත් එක්‌කම රාත්‍රි 7 ටත් ටෙලි නාට්‍ය විකාශන කාලයක්‌ අපි හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව සම්භාව්‍ය සංගීත වැඩසටහන් ඉරිදා රාත්‍රි 11.00 ට විකාශය කෙරෙනවා. මේ වැඩසටහන් බොහෝ දෙනෙක්‌ හොඳ ප්‍රතිචාර දක්‌වා තිබෙනවා. විශේෂයෙන්ම ශාස්‌ත්‍රීය සංගීතය හදාරණ පිරිස මේ ගැන උනන්දුයි.

අපි ගොඩක්‌ වෙලාවට රේටින් මත පදනම් වෙලා වැඩසටහන් කරන්නේ නැහැ. මොකද රේටින්ස්‌ මනින ක්‍රමය පිළිබඳව අපට කිසිම විශ්වාසයක්‌ නැහැ. රේටින්ස්‌වලින් සමහර නාලිකා ඉහළින්ම ඉන්න බව ඒ අයම ප්‍රකාශ කළත් ආදායම අතින් අපට කිට්‌ටු වෙන්නවත් අනෙකුත් නාලිකාවලට පුළුවන්කමක්‌ නැහැ. ආදායම අතින් කිසිම තරගකාරිත්වයක්‌ අනෙකුත් නාලිකා සමග අපට නැහැ. රේටින්ස්‌ බලලා තමයි වෙළෙඳ ආයතන වැඩකරන්නේ. එහෙම තිබිලත් අපට විශාල ආදායමක්‌ හිමි වෙනවා. ඒත් එක්‌කම කිවයුතු දෙයක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්‌ම ආවරණය කරන එකම රූපවාහිනි නාලිකාව වන්නෙත් අපියි. කොකාවිල්වල අපි අලුතෙන් විකාශන කුළුණක්‌ හදාගෙන යනවා. මේ වසර අවසන් වෙද්දී ඒ හරහා ඩිජිටල් තාක්‌ෂණය ඔස්‌සේ විකාශන කටයුතු ආරම්භ කරනවා. රූපවාහිනි ඩිජිටල් විකාශනයක්‌ මුලින්ම ආරම්භ කරන්නෙත් අපියි. එයත් රූපවාහිනි ඉතිහාසයේ වැදගත් අවස්‌ථාවක්‌ බවට පත්වේවි. (Divaina Irida)

No comments: