Action with a heart -sinhala

Monday, September 6, 2010

කෝට්‌ටේ පෙරහැර නිමා වී ඇඳුම් ගලවද්දී කුලප්පු වූ "දඹදෙණිය කුමරා" මිනිසකු මරයි

ඓතිහාසික කෝට්‌ටේ රාජමහා විහාරයේ දළදා පෙරහැරට සහභාගි වූ "දඹදෙණිය කුමරා" නමැති අලියාගේ පහරකෑමට ලක්‌වූ අලි බලන සහායකයකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි. මෙම සිද්ධිය පෙරේදා (04 වැනිදා) රාත්‍රි පෙරහැර නිමා වීමෙන් පසු ඊයේ (05 වැනිදා) අලුයම 3.30 ට පමණ සිදුවී ඇත.


අලියාගේ පහරකෑමෙන් මියගොස්‌ ඇත්තේ මීරිගම, තවලම්පිටිය පදිංචිව සිටි ඊ. ඒ. ඥනරත්න නමැති අයෙකි.

අලි ප්‍රහාරයට ලක්‌වූ ඔහු කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව එම රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.
ඊයේ අලුයම පෙරහැර නිමාවීමෙන් පසු අලියාට අන්දවා තිබූ ඇඳුම් හා ආභරණ ගලවා දැමීමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.

මෙම අලියාගේ පහරකෑමට ලක්‌වීමෙන් මේ වන විට පුද්ගලයන් සිව්දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. මියගිය පුද්ගලයාගේ හිසට හා ශරීරයට බරපතල තුවාල සිදුවී තිබිණි.

මේ පිළිබඳ නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෙනරත් එගොඩවෙල මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. පී. මලවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

No comments: