Action with a heart -sinhala

Saturday, September 4, 2010

සෞදියේ ඇණ රෝහලට දී ආරියවතී ගෙදර යයි

සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස්‌ කෲර වධහිංසාවලට ලක්‌ව ශ්‍රී ලංකාවට පැමිණි තිහගොඩ බටුවිට උඩදෙණියේ පදිංචි එල්. පී. ආරියතී මහත්මියගේ සිරුරේ තිබූ යකඩ ඇණ ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා ඊයේ (2 දා) ප.ව. 1.35 ට පමණ රෝහලෙන් පිටව ගියාය. පසුගිය 23 දා උදැසන ආබාධිත තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ ආරියවතී මහත්මියට දින 11 ක්‌ වැනි කෙටි කලකදී සුවය ලබා යළි නිවසට ඉක්‌මනින් යැමට හැකිවීම සතුටුදායක තත්ත්වයකි.


රෝහලෙන් පිටව යැමට පෙර දිවයිනට අදහස්‌ දැක්‌වූ එල්. පී. ආරියවතී මහත්මිය මෙසේ පැවසුවාය. මම 23 දා රෝහලට ආවේ ඉතාමත් අමාරු තත්ත්වයෙන්. මා පරීක්‍ෂා කළ දොස්‌තර මහතා ඉතා කාරුණිකව මට සැලකුවා. ඒ වගේම අනෙක්‌ දොස්‌තර මහත්තුරුත්, නර්ස්‌ නෝනලත්, අනෙක්‌ අයත් ඉතාමත් හොඳින් සැලකුවා. අසරණ වී සිටි මට ඒ අය දෙවියෝ වගේ සැලකුවා. මට උදව් උපකාර කළා. ඒ නිසා තමයි මට මෙතරම් ඉක්‌මනට සනීප වී ගෙදර යන්න පුළුවන් වුණේ.

මම පුරා මාස 5 ක්‌ තනි කරම හිටියේ අපායක. ඒ අපායෙන් මිදිල ලංකාවට ආවත් මට තුවාල වූ ඒවායේ අමාරු තිබුණා. දැන් ඒ ඇණ ඉවත් කරල තුවාලත් සෑහෙන්න හොඳවෙලා. ඒ නිසා මට දැන් හරිම සතුටුයි ගෙදර යන්න ලැබීම ගැන. ඒත් මට සලකපු ඉස්‌පිරිතාලේ දොස්‌තර මහත්තුරු අනිත් අය දාල යන්න වීම ගැන පොඩි කනගාටුවක්‌ තියෙනවා.

කඹුරුපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය කීර්ති කුමාර සතරසිංහ මහතා ආරියවතීගේ ශල්‍යකර්මයේදී කැපුම් 15 ක්‌ සිදුකර ඇණ සහ ඉදිකටු වැනි කම්බි කැබලි 19 ක්‌ ඉවත් කළා. ඇගේ තුවාල දැන් සෑහෙන සුව අතට පත්ව තියෙනවා. ඇගේ මානසික මට්‌ටමත් හොඳ තත්ත්වයක තියෙනවා. දැන් ඇයට නිවසට ගොස්‌ සාමාන්‍ය තත්ත්වයෙන් තනිව වැඩ කටයුතු කරන්න පුළුවන්.

කඹුරුපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කමල් වීරතුංග මහතා, ආරියවතී අද රෝහලෙන් නිවසට පිටත්කර යෑව්වත් ලබන සඳුදා (6 දා) නැවත රෝහලට ගෙන්වා ගෙන පරීක්‍ෂා කරනවා. ඇයගේ තුවාල වැඩි ප්‍රමාණයක්‌ සනීප වී තිබුණා. තවම සනීප නොවූ තුවාල වලට මැහුම් දමා නැහැ. ඊළඟට රෝහලට පැමිණි විට පරීක්‍ෂා කර බලා අවශ්‍ය නම් මැහුම් දැමීමට කටයුතු කරනවා.

ආරියවතී මහත්මිය රෝහලෙන් පිටව යන අවස්‌ථාවේදී ඇය බැලීමට විශාල පිරිසක්‌ රෝහලට පැමිණ සිටියහ. (Divaina)

No comments: