Action with a heart -sinhala

Monday, September 6, 2010

ඉන්දු-ශ්‍රී ලංකා බොක්‌සිං තරගාවලිය වැඩි ගෞරව ඉන්දියාවට

කොළඹ සුගතදාස ගෘහස්‌ථයේ පෙරේදා (04 වැනිදා පැවැති ඉන්දු-ශ්‍රී ලංකා ද්වන්ධ බොක්‌සිං සටනේ වැඩි ගෞරව හිමිකර ගත් ඉන්දියාව ඒ ඇන්ඩ් ඊ අභියෝග කුසලාන හිමිකර ගැනීමට සමත්විය.


බර පන්ති 3 ක්‌ යටතේ කාන්තා අංශයෙන්ද බර පන්ති 4 ක්‌ යටතේ පිරිමි අංශයෙන්ද ලෙස තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේ කාන්තා අංශයේ තරග සියල්ලද පිරිමි අංශයේ තරග 2 ක්‌ද ජය ගැනීමට ඉන්දියාව සමත්වූ අතර ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ තරග 2 ක්‌ පමණි.

ලයිට්‌ ෆ්ලයි(කිලෝ ග්‍රෑම් 49) බර පන්තියෙන් තරග වැදුණු ටී. එම්. සී. තෙන්නකාaන් සහ ෆෙදර් (කිලෝ ග්‍රෑම් 56) බර පන්තියෙන් තරග වැදුණු මංජු වන්නිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජය වාර්තා කළ ක්‍රීඩකයෝ වූහ.

මෙහිදී කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය ටී. එම්. සී. තෙන්නකෝන් විසින් ජය ගනු ලැබූවේ තම ප්‍රතිවාදියා වූ මුරුගන් මහදේවන් ලකුණු 14-06 ක්‌ ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි.

එහි ප්‍රථම වටය අවසන් වන විට ක්‍රීඩකයන් දෙදෙනාම ලකුණු නොලබා සිටියද දෙවැනි වටය අවසන් වන විට ලකුණු 10-04 ක්‌ ලෙස පැහැදිළි ඉදිරියක්‌ රඳවාගනිමින් ජයග්‍රහණය සඳහා මග හෙළි කර ගැනීමට තෙන්නකෝන්ට හැකියාව ලැබුණි.

මංජු වන්නිආරච්චි සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ මිශල් ලක්‍රා අතර තරගයේ ප්‍රථම වටය 1-1 ක්‌ ලෙස අවසන් වූ අතර තෙවැනි වටය අවසන් වන විට ලකුණු 2-1 ක්‌ ලෙස මංජු වන්නිආරච්චි ඉදිරියෙන් විය. එහෙත් එහි තෙවැනි වටය අවසන් වූයේ ලකුණු 3-3 ක්‌ ලෙස සම තත්ත්වයෙනි. එහිදී "ඉසෙඩ්" ලකුණු ක්‍රමය අනුව (ලකුණු 8-6 ක්‌ ලෙස) තරගයේ ජයග්‍රාහකයා මංජු වන්නිආරච්චි ලෙසින් තීන්දු විය.

පිරිමි අංශයේ අනෙක්‌ තරග දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කරට කර තරගයක්‌ ලබා දුන්නද අවසන් මොහොතේ ඔවුන් අතින් ජය ගිලිහුණි.

කිලෝ ග්‍රෑම් 52 ෆ්ලයි බර පන්තියෙන් තරග වැදුණු ඩී. එම්. සමරසේකර තරගයේ දෙවැනි වටය අවසන් වන විට ලකුණු 3-1 ක්‌ ලෙස ඉදිරියෙන් සිටියද එහි තෙවැනි සහ අවසන් වටය නිමවූයේ ප්‍රතිවාදී ක්‍රීඩක සන්කේසර හරිජාන් හමුවේ ලකුණු 3-4 ක්‌ ලෙස පසුබාමිනි.

කමල් සමීර සහ විකාශ් මලීක්‌ අතර කිලෝ ග්‍රෑම් 60 ලයිට්‌ බර පන්තියේ පැවැති තරගයේදී පළමු වටය අවසන් වන විට ලකුණු 1-0 ක්‌ වශයෙන්ද දෙවැනි වටය අවසන් වන විට ලකුණු 3-2 ක්‌ වශයෙන්ද කමල් ඉදිරියෙන් සිටි අතර තෙවැනි වටයේ අවසන් මොහොත ආසන්නය දක්‌වාම ලකුණු 4-4 ක්‌ ලෙස සටන සම මට්‌ටමක විය. එහෙත් අවසන් තත්පරයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් එල්ල වූ පහරින් ලකුණු 4-5 ක්‌ ලෙස පරාජය භාර ගැනීමට කමල් සමීරට සිදුවිය.

කාන්තා තරග අංශයේ කිලෝ ග්‍රෑම් 48 ලයිට්‌ ෆ්ලයි බර පන්තියේදී කෝසලා නිල්මිණි, ඉන්දීය ක්‍රීඩිකා පින්කි ජන්ග්‍රා ඉදිරියේ තියුණු සටනක්‌ දෙමින් ලකුණු 3-2 ක්‌ ලෙස පරාජයට පත්වූවාය.

නෙරංජලා වීරරත්න සහ ඉන්දියාවේ මීනා කුමාරි අතර කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පන්තියේ තරගය ලකුණු 6-0 ක්‌ ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාව සමත්වූ අතර කිලෝ ග්‍රෑම් 60 ලයිට්‌ බර පන්තියේ තරගයේදී විනිසුරු තීරණය අනුව ප්‍රීති බෙතිවාල්ට ජය අත්වූයේ නිරංජලා සේනානායකට පරාජය හිමිකර දෙමිනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩිකාවන්ද ඉන්දියාවේ ප්‍රභලම ක්‍රීඩකයන්ද තරග නොවැදුණි.

No comments: