Action with a heart -sinhala

Sunday, September 5, 2010

ධුර කාලයේ සීමාව ඉවත් කිරීම රටට වැඩ කිරීමට අලුත් ශක්‌තියක්‌ ලබා දෙනවා - ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක්‌ ආණ්‌ඩුව විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. එම සංශෝධනය ඉදිරිපත් කිරීම, විපක්‍ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‍ෂයට එකතුවීම යන කාරණා මූලික කර ගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවයි මේ.


ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ඔහුගේ දෙවන ධුර කාලයේ දිවුරුම් දීමවත් සිදුකර නැහැ. එසේ තිබියදී ලහි ලහියේ ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ ඇයි? තමන්ගේ පරපුරම බලය තබාගෙන කටයුතු කිරීම සඳහා යන ගමනට මෙමගින් පදනම දමනවාද?

පිළිතුරු - ඇත්ත වශයෙන්ම මේ කටයුත්ත ලහි ලහියේ කරන ලද්දක්‌ නෙමෙයි. පසුගිය වාරයේ අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරපු වෙලාවෙත් මේක සාකච්ඡා කළා. මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ මේ ගැන ඊට වැඩිය සාකච්ඡා වුණා. දැනට මාස දෙකකට පමණ පෙරයි, මේක ඉදිරිපත් වුණේ. දැන් අවසන් කෙටුම්පත සකස්‌ කරලයි මේක ඉදිරිපත් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකුට සහයෝගය දීම සඳහා ජ.වි.පෙ. කොන්දේසි හතරක්‌ දැම්මා. එයින් ප්‍රමුඛම කොන්දේසිය වුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතැනදී අපි කිව්වේ, අපි ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නැහැ කියලයි. අපි මහින්ද චින්තනයේදී කිව්වේ, ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරනවා කියලයි. නමුත් මහින්ද චින්තන ඉදිරි දැක්‌මේදී අපි කිව්වේ, ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවත් සමග බැඳෙන, ව්‍යවස්‌ථාදායකයත් එක්‌ක සම්බන්ධ වෙන තනතුරක්‌ බවට පත් කරනවා කියලයි. එදා මහින්ද චින්තනයට දුන් ජනවරමටත් වඩා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ පොදු අපේක්‍ෂකයාටත් වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ජනතාව අනුමත කළා.

අපේ රටේ පරමාධිපත්‍ය බලය උසුලන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනික්‌ සියල්ලටම වඩා උතුම්. ජනතාවගෙන් වැඩි දෙනෙක්‌ ගන්නා වූ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි, කියන එකයි මේ පරමාධිපත්‍යය කියලා කියන්නේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කළ හැකි ක්‍රම කිහිපයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවෙන් පරිච්ඡේදයේ හතර වෙනි වගන්තියේ මෙහෙම තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් නොහළ හැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලය මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත් වන්නේය.

පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම, භුක්‌ති විඳීම මතු දැක්‌වෙන ආකාරයෙන් තිබිය යුතුය.

1. ජනතාවගේ ව්‍යවස්‌ථාපිත බලය, ජනතාව විසින් තෝරා පත්කරනු ලබන මන්ත්‍රීවරයාගෙන් සමන්විත, පාර්ලිමේන්තුවක්‌ විසින්ද ජනමත විචාරණයකදී පමණක්‌ ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

රටේ ආරක්‍ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

මෙතැනදී ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අයිතියක්‌ ජනතාවට තියෙනවා. ඒ සඳහා බාධා තිබෙනවානම් ජනතා පරමාධිපත්‍යයට ඒක හානියක්‌. මේ නිසා ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනට සීමා පනවන්න පුළුවන් කමක්‌ නැහැ. ජනතාව විසින් දෙවරක්‌ තෝරා පත්කර ගත් අයෙකුට ජනාධිපතිවරයා වීමට නොහැකිය යන කොන්දේසිය, බැලුවොත්, ඒක ඉතාම අසාධාරණ කොන්දේසියක්‌. ජනතාවගේ කැමැත්ත කියන එක දෙවරක්‌ ලැබුණු පුද්ගලයෙකුට ජනතාව ඉදිරියට යළි යන්න බැහැ කියන එක සාධාරණ නැහැ. මේක කුමන අන්දමින්වත් ජනතාවගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමක්‌ නොවෙයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයේ ධූර කාලය අවුරුදු දොළහක්‌ කරන එක නෙමෙයි. ජනතාවට තෝරා ගැනීම සඳහා අයිතියට දමන ලද සීමාවන් ඉවත් කිරීමක්‌ පමණයි මෙතැනදී වෙන්නේ.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයන් ලෙස පිළිගැනෙන ඇමරිකානු එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරයාට තම ධුර කාලය දෙවරකට වඩා දැරිය නොහැකි බවට වන සීමාවක්‌ එම ව්‍යවස්‌ථාවෙන්ම තිබෙනවා. එසේ තිබියදී, මෙරටදී එම සීමාව ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක්‌ යෑයි ඔබ සඳහන් කරන්නේ කෙසේද?

පිළිතුරු - ඇමරිකාවේ සීමාවක්‌ තිබීම, අපේ රටේ සීමාවක්‌ නොතිබීමට බාධාවක්‌ කරගත යුතුද? මේ රටේ දෙවරක්‌ ජනාධිපති වීමට සුදුසුවන පුද්ගලයාට යළිත් ජනතාවගේ වරම ලැබීම සඳහා නුසුදුසුකමක්‌ තිබෙනවා. ඒ නුසුදුසුකම තමයි දෙවරක්‌ ජනාධිපති වීම. එවැනි බාධා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වන්නේ නැහැ.

ප්‍රශ්නය - චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදී මෙවැනි තත්ත්වයක්‌ තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා. මේ නිසා මෙම සීමාව ඉවත් කිරීම ජනතාවගේ තේරීම පටු කිරීමට බලපාන්නේ නැද්ද?

පිළිතුරු - ජනතාවට එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යළිත් වරක්‌ තෝරා ගැනීමට අවශ්‍යතාවයක්‌ තිබුණා නම් එම අයිතිය දිය යුතුයි. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙම වගන්තිය ව්‍යවස්‌ථාවට ඇතුල් කළේ තමන්ට වාසිදායක ක්‍රමයට. ජනතාව විසින් දෙවරක්‌ තෝරාගත් ජනාධිපතිවරයෙක්‌ යන වගන්තිය තුළින් ඔහු අදහස්‌ කළේ, ඔහු ජනතාව විසින් ජනාධිපති ලෙස තෝරා ගත්තේ එක්‌ වරක්‌ පමණක්‌ නිසා, තවත්වාරයකට යන්නයි. ඒ අනුව තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ වුණා. ඔහු ඒ සඳහා කමිටුවකුක්‌ පත් කළා. නමුත් එදා මේ රටේ හැම ගහකම, ගලකම, ලයිට්‌ කණුවකම තිබ්බේ ඡේ. ආර්. පන්නමු, මරව් කියලයි. මේ නිසා ජනතාවට ඡේ. ආර්. එළවන්න ඕනේ කියන අදහස තිබුණා. ඒ නිසා ඡේ. ආර්. ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්‌ථාව තිබුණත් පක්‍ෂය හා ජනතාව තුළින් එය සීමා වුණා. එදා තෙවෙනි වරට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව චන්ද්‍රිකාට ව්‍යවස්‌ථාවෙන් තිබුණේ නැහැ. නමුත් මෙතැනදී එම අවස්‌ථාව චන්ද්‍රිකාට යළිත් ලැබිලා තිබෙනවා.

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ගත කරන්නේ ඔහුගේ පළමු ධුර කාලය. ඔහුගේ දෙවෙනි ධුර කාලය සඳහා දිවුරුම් දීමටත් පෙර මෙවැනි සංශෝධනයක්‌ සඳහා ආණ්‌ඩුව යොමුවුනේ ඇයි?

පිළිතුර - ඒක ඉතාම වැදගත් කාරණයක්‌. ඒක තමයි මෙතැන තියෙන හරය. ජනාධිපතිවරයා තෙවැනි වරටත් ඡන්දයකට ඉදිරිපත් වීම නොවෙයි. ජනාධිපතිවරයාට ලැබුණු ධුර කාලයේ දී ඔහුට ජනතාව ලබාදුන් බලය බයක්‌ සැකක්‌ නැතිව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබා දීමක්‌ මෙතැනදී කෙරෙනවා. ජනතාවට වැඩ කරන්න, රටට වැඩ කරන්න, ජනාධිපතිවරයාට මෙයින් බලය ලැබෙනවා. මෙතැනදී පැහැදිළිව බලන්නá ඡේ. ආර්., චන්ද්‍රිකා, ක්‌ලින්ටන්, බුෂ් ආදී අයගේ පළවෙනි ධුර කාලය යි, දෙවෙනි ධුර කාලය යි අතර වෙනස. මේ ආදී සෑම ජනාධිපතිවරයෙකුගේම දෙවෙනි ධුර කාලයේදී ජනතා හිතවාදී පියවර වලට ගියේ නැහැ. ඔවුන් යළිත් ජනතාව ඉදිරියට නොයන හින්දා හිතුමතේ කටයුතු කළා. ඒ වගේම එම ආණ්‌ඩුවල ස්‌ථාවර භාවය නැති වුණා. චන්ද්‍රිකා මැතිනිය එතුමියගේ දෙවෙනි ධුර කාලයේදී, පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. නමුත් හකීම්ගෙන් පටන්ගෙන එස්‌. බී. ඇතුළු පිරිස්‌ ආණ්‌ඩුවෙන් ගිහිල්ලා ආණ්‌ඩුවද වැටුණා.

ඡේ. ආර්. ජයවර්ධනගේ අවසාන කාලයේදී මුළු රටම අරාජික වුණා. ක්‌ලින්ටන් බැලුවත් එහෙමයි. පුද්ගලික චරිතය කැලැල් කර ගනිමින් ඇමරිකානු ඉතිහාසයේ ඔහු නම සටහන් කරගෙන ජනතාවගෙන් සමාව ඉල්ලුවා. බුෂ්ගේ දෙවෙනි පාලන කාලයේ දී මුළු ඇමරිකානු ආර්ථිකයම කඩාගෙන වැටුණා.

දෙවෙනි ධූර කාලය දරන ජනාධිපතිවරයෙකු වැඩ කරන්නේ "මම යළිත් ජනතාව ඉදිරියට යන්නේ නැහැ" කියන අදහසෙනුයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඔවුන් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි ධුර කාලය වනවිට නිලධාරින්, ඇමැතිවරු ආදී පුද්ගලයන් කල්පනා කරන්නේ, "මෙයාගේ කාලේ ඉවර වේගෙනයි යන්නේ, ඊළඟට එන්නේ කවුද?" කියලයි. මෙහෙම ගියාම රටට මොකක්‌ද වෙන්නේ. රටේ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ මතුවෙනවා.

ප්‍රශ්නය - ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව ඔබ දිගින් දිගටම පවසනවා. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීම සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරගනිමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්‍ෂය යනු අත්‍යාවශ්‍ය සාධකයක්‌. විපක්‍ෂ මන්ත්‍රීවරු බිලි බා ගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන අතුල් පහරක්‌ නොවේද?

පිළිතුරු - මෙතැනදී පැහැදිළිවම කිව යුත්තේ, මේ බිලි බා ගැනීමක්‌ නොවෙයි. මේ මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය. ඔවුන් ජනතාවගේ අදහස්‌ දන්නවා. රටේ ජනතාව ඉන්නේ කොයි පැත්තේද ඒ වෙලාවේ මන්ත්‍රීවරු හැසිරෙන්නේත් ඒ ආකාරයෙන්. ඒ නිසා තමයි මේ මන්ත්‍රීවරු අප සමග එක්‌ වන්නේ. එදා ත්‍රස්‌තවාදයට එරෙහිව අපි මානුෂික මෙහෙයුම කරනකොට අයවැය පරාජය කරන්න, ආණ්‌ඩුව වට්‌ටන්න පාර්ලිමේන්තුව තුළ සැලැස්‌මක්‌ තිබුණා. එතැනදී ජනතාව සිටියේ අපිත් සමග. ඒ නිසා ජනතා නියෝජිතයන් පිරිසක්‌ විපක්‍ෂයේ ඉඳලා ඇවිල්ලා අපිත් සමග එකතුවෙලා ජනතාවගෙ මතය අනුව කටයුතු කළා. එතැනදී අපේ මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ විපක්‍ෂයට ගියා. ඒ ගැන කතා කරන කොට බිලිබා ගන්නවා කියලා කියන්නේ නෑනේ. මේ වෙන්නේ බිලි බා ගැනීමක්‌ නෙවෙයි. ජනතාවගේ මතය අනුව මන්ත්‍රීවරු හැසිරීමක්‌. ශ්‍රී ල.නි.ප.යත් බිහි වුණෙත් මේ වගේ පිල් මාරුවක්‌ නිසයි. බණ්‌ඩාරනායක මහතා හා ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එදා එ.ජා.ප.යේ සිට විපක්‍ෂයට ආවා. සිංහල මහ සභාව හරහා තමයි ඔවුන් එ.ජා.ප.යට ඇතුල් වුණෙත්. මෙහිදී එම ජනතාවගේ අදහස්‌ ඔවුන්ට බලපෑවා.

ප්‍රශ්නය - ආණ්‌ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ ආසන 146 යි. එතැන් සිට ව්‍යවස්‌ථා සංශෝධනයට අවශ්‍ය ඉතිරි ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්‌ඩුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්‍ෂා කරනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන්නේ තුනෙන් දෙකේ බහුතරයකින් වුවත්, ඒ සියල්ල ආණ්‌ඩුවටම ලැබුණු ඡන්ද නොමෙයි, කියන එකනේ. එසේ නම් තමන්ට ලැබුණු ජනවරමෙන් ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා යෑයි ආණ්‌ඩුව කියන කතාව අසත්‍යයක්‌ නේද?

පිළිතුරු - මේ ව්‍යවස්‌ථාව හැදුවේ කුමන තත්ත්වයක පාර්ලිමේන්තුවක්‌ද? එයට එදා ලැබුනේ කෙබඳු ජනවරමක්‌ ද? මේ ව්‍යවස්‌ථාව 1978 හදන කොට එ.ජා.ප.යට 1977 දී ඡන්ද ලැබුණේ තිස්‌එක්‌ලක්‍ෂ හැත්තෑ නවදහස්‌ දෙසිය විසිඑකයි. එය ප්‍රතිශතයක්‌ ලෙස 50.9% යි. කේවල ක්‍රමය නිසා එදා පාර්ලිමේන්තු නියෝජනයේ ආණ්‌ඩු පක්‍ෂය හයෙන් පහක්‌ වුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී හැට ලක්‍ෂ පහළොස්‌ දහස්‌ නවසිය තිස්‌ හතරක ඡන්ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණා. එය ප්‍රතිශතයක්‌ ලෙස 57.88% යි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී 60.33% ක ඡන්ද ප්‍රතිශතයක්‌ අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ 1977 දී මෙම ව්‍යවස්‌ථාව නිර්මාණය කරන්න ලැබුණු ජනවරමටත් වඩා වැඩි ජනවරමක්‌ මෙම සංශෝධනය සඳහා ලැබී තිබෙනවා. ඊට අමතරව නුවර දී එ.ජා.ප.යෙන් පළවෙනියා වුණු කාදර් මහතා, නුවර එළියේදී මනාපයෙන් පළවෙනියා වුණු දිගම්බරම් මහතා, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එකම දෙමළ මන්ත්‍රීවරයා වන ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු එ.ජා.ප.යට මඩකලපුවෙන් ආපු එකම මන්ත්‍රීවරයා, ත්‍රිකුණාමලෙන් එ.ජා.ප.යෙන් ආපු එකම මන්ත්‍රීවරයා, අම්පාරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙන්නාම, ඒ කියන්නේ මුළු නැගෙනහිර පළාතෙන්ම එ.ජා.ප.යෙන් ආපු මන්ත්‍රීවරු හතර දෙනාමත් මෙම සංශෝධනයට සහාය පළ කරනවා. උතුරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌, නුවර එළියේ දී එ.ජා.ප.යෙන් දෙවෙනියා වෙමින් පත්වූ හකීම් මහතාත් මෙයට සහාය දෙනවා. මේ සංශෝධනය ඇත්තටම මේ ව්‍යවස්‌ථාව නිර්මාණය කර සම්මත කර ගත්තාටත් වැඩිය, ජනතා අනුමැතියක්‌ ලැබී තිබෙනවා. (Divaina Irida)

No comments: