Action with a heart -sinhala

Saturday, September 4, 2010

අනාගතයේදී සිදුවන දේ දැක ජනාධිපති කඩිනමින් ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට යනවා - ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ

අනාගතයේදී සිදුවන දෑ දැක ඇති ජනාධිපතිවරයා ජනතා විරෝධය මැඬපැවැත්වීමේ ආම්පන්න එකතු කර ගැනීම සඳහා කඩිමුඩියේ ව්‍යවස්‌ථාව සංශෝධනය කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (03 දා) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෝමවංශ අමරසිංහ මහතා මෙසේ ද පැවැසුවේය.

මේ ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ කඩිමුඩි පනතක්‌ ලෙසයි. ව්‍යවස්‌ථාව ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේත් අටවැනිදා විතරයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ සංශෝධන කුඩාද විශාලද කියා සලකන්න බැහැ. මෙය තමයි රටේ තිබෙන ඉහළම ලේඛනය. ඒ නිසා ව්‍යවස්‌ථාවේ අකුරක්‌ හෝ වෙනස්‌ කරනවා නම් එය රටේ ජනතාවගේ, විද්වතුන්ගේ, දේශපාලන පක්‍ෂවල අවධානයට ලක්‌කිරීමට ප්‍රමාණවත් කාලයක්‌ ලබාදිය යුතුයි. ඒත් මේ සංවාදය ඉතා කෙටි කරන්න හැකි සෑම උපක්‍රමයක්‌ම, තක්‌කඩිකමක්‌ම ආණ්‌ඩුව විසින් පාවිච්චි කරනවා. සංශෝධනයේ ඉලක්‌කය එයින්ම පැහැදිලියි. මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනාධිපති ධුරයේ වාර ගණන ගැන කිසිදු සීමාවක්‌ නැහැ. දාහත්වැනි සංශෝධනයත් අහෝසි වෙනවා. ජනපති ධුරයේ වාර ගණන සීමා නොකිරීම, දාහත්වැනි සංශෝධනය අහෝසි කිරීම යන කරුණු දෙකම එකට අරන් සාකච්ඡා කරද්දී තමයි මේ දහඅටවැනි සංශෝධනයේ භයානකකම පිළිබඳ චිත්‍රය දකින්න හැකිවන්නේ.

කිසිම දෙඩිගියාවක්‌ නොමැතිව ආරම්භයේ සිටම ජනතා විමුක්‌ති පෙරමුණ මේකට විරුද්ධ වුණා. විධායක ජනාධිපතිකම අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ අපි හිටියා. ජනාධිපතිවරයා රටේ නීතියට, පාර්ලිම්න්තුව උඩින් සිටිද්දී රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කරන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී තරග කරද්දී ඔහු ලවා අපි මේ රටට පොරොන්දුවක්‌ දුන්නා. ඒ විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. එදා ඒක කිසිම අඩුවක්‌ නැතිව රාජපක්‍ෂ මහත්තයා ප්‍රකාශ කළා. ඒත් අද කියනවා මම කොහෙද එහෙම පොරොන්දුවක්‌ දී තිබෙන්නේ කියා. මෙවැනි පට්‌ටපල් බොරු කියන කෙනකුට කොතරම් අපරාධ කරන්න පුළුවන්ද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැරවුම් ලක්‍ෂයක්‌ විදිහටයි. මේ නිසා රටේ නිදහස්‌ ඡන්ද පවත්වන්න ලැබෙන්නේ නැහැ. නිදහස්‌ ඡන්දයක්‌ නිර්මාණය කරන ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම අහෝසි වෙනවා. රජයේ සේවකයා කෙළින්ම දේශපාලනයට සම්බන්ධ කරගත හැකි වෙනවා.

මේ ජනාධිපතිවරයා යටතේ ඇමැති මණ්‌ඩලයක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉන්නේ පඹයෝ ටිකක්‌. ජනාධිපතිවරයාට ඕනෑ දේ ඔහු කරනවා. රජයේ සේවකයන්වත් ඇමැතිවරයා යටතට නොවේ ජනාධිපතිවරයා යටතට පත්කර ගන්නවා.

අද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතා කරන්න ලබා දී තිබෙන්නේ දවස්‌ දහයකටත් වඩා අඩු කාලයක්‌. මේ සංශෝධනය ගැන රටේ ජනතාව දැනුවත් කරන්න ආණ්‌ඩුව මැදිහත් වෙන්න ගත්තු මහන්සිය මොකක්‌ද? ආණ්‌ඩුව මහන්සි වුණේ සංශෝධනය ගැන ජනතාවගෙන් සඟවන්නයි. රටේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් අතරින් බහුතරය මේ සංශෝධනයට විරුද්ධයි. ඒක සඟවන්න ආණ්‌ඩුවට බැහැ.

ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ කිසිදු සුජාතභාවයක්‌ නැහැ. සුජාතභාවය පිළිබඳ පෙන්වන්න නම් ඒ සඳහා ජනතාව සම්බන්ධ කරගත යුතයි. ක්‍රියාවලිය සුජාත නොවේ නම් සංශෝධනයත් සුජාත නැහැ.

යුද ජයග්‍රහණ සමඟ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්න, ආර්ථික සංවර්ධනය ඇති කරන්න, ජාතික සමගිය ස්‌ථාපිත කරන්න කටයුතු නොකළ ජනපතිවරයා මේ රට අස්‌ථාවර භාවයට පත්කළා. එවැනි වකවානුවක තමයි මේ සංශෝධනය ගෙන එන්නේ. අද වෙනකොට තිබෙන්නේ රටේ ජනතාවගේ අප්‍රසාදයට සහ උදහසට ලක්‌ වූ ආණ්‌ඩුවක්‌. ඒ නිසා ඉදිරියේදී සිදුවන දේ දකින ජනාධිපතිවරයා ජනතා විරෝධය මැඬපැවැත්වීමේ ආම්පන්න තමා වටා ඒකරාශි කරගන්නයි මේ සංශෝධනය කඩිමුඩියේ ගෙන එන්නේ. ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයන් වක්‍රාකාර ලෙස මේ සංශෝධනයට විරෝධය පළ කළා. ඒ නිසා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ ක්‍රියාවලියත් එජාප නායකයා සමඟ සාකච්ඡා කරමින් සංශෝධනයට එරෙහිව මතුවන විරෝධතා ව්‍යාපාරය දියාරු කරන්නත් ජනාධිපතිවරයා සමත් වුණා.

ආණ්‌ඩුව මේ ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නේ ජනතාව විසින් ලබාදුන් තුනෙන් දෙකක බලයක්‌ මත නොවේ. මෙය බලහත්කාරයෙන්, අල්ලසෙන් හදාගත් තුනෙන් දෙකක බලයක්‌. එනිසා මේ ව්‍යවස්‌ථා සංශෝධනයට ඒ පැත්තෙන් බැලුවත් සුජාත භාවයක්‌ නැහැ.

ජනාධිපති ධුරයේ සිටිය හැකි වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කරන්න මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුප්‍රාප්තිකයෙක්‌ ජනාධිපතිකමට නැති නිසාද? ඕනෑ තරම් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. ඒත් ඒ අයට කිසිවක්‌ කතා කරගන්න බැරිවයි ඉන්නේ.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයාට බලකරන්න මේ සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කරන්න කියලා. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගන්නා ඉතා ශ්‍රේෂ්ඨ පියවරක්‌.

ජනතා විමුක්‌ති පෙරමුණ කිසිම කොන්දේසියක්‌ නැතිව මේ සංශෝධනය පරාජය කිරීමේ උද්ඝෝෂණ සඳහා ජනතාව සංවිධානය කරනවා. රටේ ජනතාව මුලා කරන්න අපි ජනාධිපතිවරයාට ඉඩ දෙන්නේ නැහැ. අපි ජයග්‍රහණය දක්‌වාම මේ සටන ගෙන යනවා. රාජපක්‍ෂ පවුලේ බලය ස්‌ථාපිත කරන්න, ඒකාධිපති පාලනයක්‌ ගෙනයන්න උත්සාහ කරනවා නම් එය පරාජය කරන බවට අපි සහතික කරනවා. කළ හැකි උපරිමයෙන් අපි අපේ වගකීම රට වෙනුවෙන් කරනවා. මේ සංශෝධනයට එරෙහිව අපේ මන්ත්‍රී කණ්‌ඩායම පාර්ලිමේන්තුවේදී එකහෙළාම ඡන්දය දෙනවා. එම නිසා සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ද අප ඉල්ලා සිටිනවා මේ සංශෝධනයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා.

ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව විපක්‍ෂයෙන් කෙරෙන විරෝධතාවය පසුගිය කාලයේදී එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දියාරු කළා මිස ශක්‌තිමත් කරන්න කටයතු කළේ නැහැ. එය එක්‌සත් ජාතික පක්‍ෂයේ සමහර නායකයන්, මන්ත්‍රීවරු වගේම පහළ මට්‌ටමේ අයත් අපට කතා කරනවා. ඉහළ නායකත්වය ගැන විශ්වාස නෑ. ඒ නිසා ඔබ පක්‍ෂය කරන දේකට අපි සහාය දෙනවා කියා ඔවුන් අපට කීවා. එක්‌සත් ජාතික පක්‍ෂයට තීන්දුවක්‌ ගන්න බැහැ. තීන්දුවක්‌ ගන්න විදිහක්‌ නෑ. යූ. එන්. පී. නායකයා ගුවන්ගත වෙලා. සමහර එජාප මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සම්මේලනයේ ඉදිරියෙන්ම අසුන්ගෙන සිටියා. එනිසා ව්‍යවස්‌ථාවට එරෙහි විරෝධතා ව්‍යාපාරයේදී අපට එජාපය සමඟ කටයුතු කරන්න බැහැ.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා - මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් සම්මත කරගත්තත් අපි ජනතාව සමඟ එක්‌ව දැවැන්ත උද්ඝෝෂණ පවත්වනවා. ඊට එරෙහිව මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආණ්‌ඩුව තුනෙන් දෙකක බලය ලබාගත්තේ යූ. එන්. පීය නිසයි. යූ. එන්. පී. නායකත්වයට අවස්‌ථාව තිබුණා මෙය නතර කරන්න. ඒත් එය වළක්‌වන්න යූ. එන්. පී. නායකයා ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගත්තත් එය සදාචාර විරෝධී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය. (Divaina)

No comments: