Action with a heart -sinhala

Sunday, September 5, 2010

ඉවත දමන කල් ඉකුත් වූ ආහාර බලෙන් රැගෙන විකුණන කල්ලියක්‌

ආනයනය කරන ලද පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට රැගෙන යද්දී ඒවා අතරමඟදී හොර රහසේම ලබාගෙන නැවත අලෙවි කරන කණ්‌ඩායමක්‌ පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්‌ඨාශය වෙත ලැබී ඇත.


මෙම සංවිධානාත්මක කණ්‌ඩායම සමඟ කොළඹ පාතාලයේ ප්‍රබලයන් කීපදෙනෙකු ද සම්බන්ධ වී සිටින බව පොලිස්‌ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පවසයි. මේ ආකාරයට වෙළෙඳපොළට එන පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම නිසා මහජනතාවට නොයෙකුත් ලෙඩ රෝග වැළඳීමට ඉඩ ඇති බව ද ඒ මහතා කියා සිටියි.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායම පිළිබඳව තොරතුරු ලැබීම නිසා විනාශ කිරීමට රැගෙන ගිය පාවිච්චියට නුසුදුසු ආහාර සහිත කන්ටේනර් රථ 4 කට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ආරක්‍ෂාව ලබා දීමට කොළඹ අපරාධ කොට්‌ඨාශය කටයුතු කර තිබේ.

කොළඹ වරායෙන් ඉවත් කරන ආනයනික කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රථවල බහාලූ ආහාර විනාශ කිරීම සඳහා රැගෙන යද්දී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම විසින් අතරමගදී ඒවා ඔවුන්ට අයත් ලොරි වලට පටවා ගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

මෙම ක්‍රියාව සඳහා වරායේ ඇතැම් සේවකයන් ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නිට්‌ටඹුව දඩගමුව ප්‍රදේශයේ ස්‌ථාන කීපයකදී වළ දමා විනාශ කරන අතර ඒවා එම ස්‌ථානවලට රැගෙන යද්දී අතරමඟදී මෙසේ ලබාගෙන රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගන්නා බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඉතාම සංවිධානාත්මක ආකාරයට සිදු කෙරී ඇති අතර පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක්‌ නැවත වෙළෙඳපොළට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. (Divaina Irida)

No comments: