Action with a heart -sinhala

Monday, September 6, 2010

"දැන් බය නැතුව තුන් හතර පාරක්‌ උනත් බැට්‌ කරන්න පුළුවන්"

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ඉදිකරන ලද බදුල්ල ගෘහස්‌ථ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පෙරේදා (04 දා) විවෘත විය. ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පන්දුවට පහර දී ක්‍රීඩාංගණය විවෘත කළ අයුරු ඡායාරූපයේ වේ. මෙම අවස්‌ථාවට ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව ආණ්‌ඩුකාර සී. නන්ද මැතිව්, ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ විධායක අජිත් ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. - සුදත් සිල්වා

ඉන්දු-ශ්‍රී ලංකා බොක්‌සිං තරගාවලිය වැඩි ගෞරව ඉන්දියාවට

කොළඹ සුගතදාස ගෘහස්‌ථයේ පෙරේදා (04 වැනිදා පැවැති ඉන්දු-ශ්‍රී ලංකා ද්වන්ධ බොක්‌සිං සටනේ වැඩි ගෞරව හිමිකර ගත් ඉන්දියාව ඒ ඇන්ඩ් ඊ අභියෝග කුසලාන හිමිකර ගැනීමට සමත්විය.


බර පන්ති 3 ක්‌ යටතේ කාන්තා අංශයෙන්ද බර පන්ති 4 ක්‌ යටතේ පිරිමි අංශයෙන්ද ලෙස තරග 7 කින් සමන්විත වූ මෙම තරගාවලියේ කාන්තා අංශයේ තරග සියල්ලද පිරිමි අංශයේ තරග 2 ක්‌ද ජය ගැනීමට ඉන්දියාව සමත්වූ අතර ශ්‍රී ලංකාවට ජය ගත හැකි වූයේ තරග 2 ක්‌ පමණි.

ලයිට්‌ ෆ්ලයි(කිලෝ ග්‍රෑම් 49) බර පන්තියෙන් තරග වැදුණු ටී. එම්. සී. තෙන්නකාaන් සහ ෆෙදර් (කිලෝ ග්‍රෑම් 56) බර පන්තියෙන් තරග වැදුණු මංජු වන්නිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජය වාර්තා කළ ක්‍රීඩකයෝ වූහ.

මෙහිදී කිලෝ ග්‍රෑම් 49 බර පන්තිය ටී. එම්. සී. තෙන්නකෝන් විසින් ජය ගනු ලැබූවේ තම ප්‍රතිවාදියා වූ මුරුගන් මහදේවන් ලකුණු 14-06 ක්‌ ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි.

එහි ප්‍රථම වටය අවසන් වන විට ක්‍රීඩකයන් දෙදෙනාම ලකුණු නොලබා සිටියද දෙවැනි වටය අවසන් වන විට ලකුණු 10-04 ක්‌ ලෙස පැහැදිළි ඉදිරියක්‌ රඳවාගනිමින් ජයග්‍රහණය සඳහා මග හෙළි කර ගැනීමට තෙන්නකෝන්ට හැකියාව ලැබුණි.

මංජු වන්නිආරච්චි සහ ඔහුගේ ප්‍රතිවාදියා වූ මිශල් ලක්‍රා අතර තරගයේ ප්‍රථම වටය 1-1 ක්‌ ලෙස අවසන් වූ අතර තෙවැනි වටය අවසන් වන විට ලකුණු 2-1 ක්‌ ලෙස මංජු වන්නිආරච්චි ඉදිරියෙන් විය. එහෙත් එහි තෙවැනි වටය අවසන් වූයේ ලකුණු 3-3 ක්‌ ලෙස සම තත්ත්වයෙනි. එහිදී "ඉසෙඩ්" ලකුණු ක්‍රමය අනුව (ලකුණු 8-6 ක්‌ ලෙස) තරගයේ ජයග්‍රාහකයා මංජු වන්නිආරච්චි ලෙසින් තීන්දු විය.

පිරිමි අංශයේ අනෙක්‌ තරග දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කරට කර තරගයක්‌ ලබා දුන්නද අවසන් මොහොතේ ඔවුන් අතින් ජය ගිලිහුණි.

කිලෝ ග්‍රෑම් 52 ෆ්ලයි බර පන්තියෙන් තරග වැදුණු ඩී. එම්. සමරසේකර තරගයේ දෙවැනි වටය අවසන් වන විට ලකුණු 3-1 ක්‌ ලෙස ඉදිරියෙන් සිටියද එහි තෙවැනි සහ අවසන් වටය නිමවූයේ ප්‍රතිවාදී ක්‍රීඩක සන්කේසර හරිජාන් හමුවේ ලකුණු 3-4 ක්‌ ලෙස පසුබාමිනි.

කමල් සමීර සහ විකාශ් මලීක්‌ අතර කිලෝ ග්‍රෑම් 60 ලයිට්‌ බර පන්තියේ පැවැති තරගයේදී පළමු වටය අවසන් වන විට ලකුණු 1-0 ක්‌ වශයෙන්ද දෙවැනි වටය අවසන් වන විට ලකුණු 3-2 ක්‌ වශයෙන්ද කමල් ඉදිරියෙන් සිටි අතර තෙවැනි වටයේ අවසන් මොහොත ආසන්නය දක්‌වාම ලකුණු 4-4 ක්‌ ලෙස සටන සම මට්‌ටමක විය. එහෙත් අවසන් තත්පරයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් එල්ල වූ පහරින් ලකුණු 4-5 ක්‌ ලෙස පරාජය භාර ගැනීමට කමල් සමීරට සිදුවිය.

කාන්තා තරග අංශයේ කිලෝ ග්‍රෑම් 48 ලයිට්‌ ෆ්ලයි බර පන්තියේදී කෝසලා නිල්මිණි, ඉන්දීය ක්‍රීඩිකා පින්කි ජන්ග්‍රා ඉදිරියේ තියුණු සටනක්‌ දෙමින් ලකුණු 3-2 ක්‌ ලෙස පරාජයට පත්වූවාය.

නෙරංජලා වීරරත්න සහ ඉන්දියාවේ මීනා කුමාරි අතර කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පන්තියේ තරගය ලකුණු 6-0 ක්‌ ලෙස ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාව සමත්වූ අතර කිලෝ ග්‍රෑම් 60 ලයිට්‌ බර පන්තියේ තරගයේදී විනිසුරු තීරණය අනුව ප්‍රීති බෙතිවාල්ට ජය අත්වූයේ නිරංජලා සේනානායකට පරාජය හිමිකර දෙමිනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රභලම ක්‍රීඩිකාවන්ද ඉන්දියාවේ ප්‍රභලම ක්‍රීඩකයන්ද තරග නොවැදුණි.

කුළුඳුල් දරුවා බිහිකළ තරුණ මව රෝහලෙන් පැනගොස්‌ දුම්රියට දිවිපුදයි

කුළුඳුල් දරුවා බිහි කිරීම සඳහා පොළොන්නරුව මහ රෝහලේ නේවාසිකව සිටි තරුණ මවක්‌ දරුවා ලැබීමෙන් පසු රෝහලෙන් පැන ගොස්‌ ඊයේ (05 දා) අලුයම දුම්රියට පැන සිය දිවි හානිකර ගෙන ඇත.


මෙසේ මිය ගොස්‌ ඇත්තේ මැදිරිගිරිය, වඩිගවැව පදිංචිව සිටි ජයසිංහ පණ්‌ඩිතගේ අනුෂා මාලිනී ජයසිංහ නමැති 26 හැවිරිදි කාන්තාවකි.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර රාත්‍රි දුම්රියට හසුවී පොළොන්නරුව ලක්‍ෂඋයන ප්‍රදේශයේදී කාන්තාවක්‌ මිය ගොස්‌ ඇති බවට පොළොන්නරුව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත පරීක්‍ෂණ මෙහෙයවීමෙන් පසුව මෙම කරුණු අනාවරණය වී තිබේ. කාන්තාව දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට අදාළ නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති අතර ඇය දරුවා ලැබීමෙන් අනතුරුව කිසියම් මානසික ආබාධ තත්ත්වයකින් පසුවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී වැඩිදුරටත් හෙළිවී ඇතැයි පරීක්‍ෂණ මෙහෙයවන පොලිස්‌ නිලධාරීහු පවසති.

පොළොන්නරුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ. (Divaina)

කෝට්‌ටේ පෙරහැර නිමා වී ඇඳුම් ගලවද්දී කුලප්පු වූ "දඹදෙණිය කුමරා" මිනිසකු මරයි

ඓතිහාසික කෝට්‌ටේ රාජමහා විහාරයේ දළදා පෙරහැරට සහභාගි වූ "දඹදෙණිය කුමරා" නමැති අලියාගේ පහරකෑමට ලක්‌වූ අලි බලන සහායකයකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි. මෙම සිද්ධිය පෙරේදා (04 වැනිදා) රාත්‍රි පෙරහැර නිමා වීමෙන් පසු ඊයේ (05 වැනිදා) අලුයම 3.30 ට පමණ සිදුවී ඇත.


අලියාගේ පහරකෑමෙන් මියගොස්‌ ඇත්තේ මීරිගම, තවලම්පිටිය පදිංචිව සිටි ඊ. ඒ. ඥනරත්න නමැති අයෙකි.

අලි ප්‍රහාරයට ලක්‌වූ ඔහු කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව එම රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.
ඊයේ අලුයම පෙරහැර නිමාවීමෙන් පසු අලියාට අන්දවා තිබූ ඇඳුම් හා ආභරණ ගලවා දැමීමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.

මෙම අලියාගේ පහරකෑමට ලක්‌වීමෙන් මේ වන විට පුද්ගලයන් සිව්දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. මියගිය පුද්ගලයාගේ හිසට හා ශරීරයට බරපතල තුවාල සිදුවී තිබිණි.

මේ පිළිබඳ නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සෙනරත් එගොඩවෙල මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. පී. මලවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

8 වනදා ඡන්දය ගැන මෛත්‍රිපාල කියයි - දැනටමත් 160කට වඩා සංශෝධනයට පක්‌ෂයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් රැසක්‌ දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනයට කැමැත්ත පළකර ඇතැයි ද ඒ අනුව ඉදිරි පැය හතළිස්‌ අට තුළදී ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂ මන්ත්‍රීන් සංඛ්‍යාව අනිවාර්යයෙන්ම එකසිය හැට ඉක්‌මවන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින"ට ඊයේ (05 දා) ප්‍රකාශ කළේය. ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව මේ වන විටත් මන්ත්‍රීවරුන් එකසිය හැටදෙනකු සිටින බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම සංඛ්‍යාව ඉදිරි පැය කීපය තුළදී තවත් වැඩිවනු ඇතැයි ද කීය. එක්‌සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව පෝස්‌ටර් ඇලවීමෙන් සහ උද්ඝෝෂණය කිරීමෙන් ඵලක්‌ නොවන බවද කී හෙතෙම මෙම 08 වැනිදා අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරයකින් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන බවද කීය.

"අපට කලින් කරු ජයසූරියට දඬුවම් දෙන්න ඕනෑ"

අපට කලින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට දඬුවම් දෙන්න ඕනෑ යෑයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පවසයි.


පක්‍ෂය මෙම තත්ත්වයට ඇදදැමීමට මුල්වුණේ කරු ජයසූරිය මහතායි. පක්‍ෂ නායකත්වය කරු ජයසූරියට දුන් දඬුවම මොකක්‌ද කියලා මම ප්‍රශ්න කරනවා.

අද එජාපය මුහුණපා තිබෙන තත්ත්වය ගැන කණගාටුයි.

ව්‍යවස්‌ථා සංශෝධනයට සහය දීමට එජාපයෙන් අට දෙනෙක්‌ම සූදානම් වෙලා සිටිනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා යි ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි - මංගල සමරවීර

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව නිසා සංශෝධනය කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් එහි 17 වැනි සංශෝධනය බල රහිත වී රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බව මාතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය. "ගමින් ගමට - දොරින් දොරට" එජාප ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරමින් ඔහු මාතර වල්පොල ප්‍රදේශයේදී එසේ පැවැසීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය.


මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධනය කරන්න ක්‍රම තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතාව අතරට ඉදිරිපත් කරන්න පුළුවනි. නමුත් මහින්ද රාජපක්‍ෂ කටයුතු කරන්නේ බෙලිඅත්ත හන්දියේ මැරයෙක්‌ විදියට.

ව්‍යවස්‌ථාව සංශෝධනය කරල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනව කියල ඡන්ද අරගෙන අද ජනතා මතයට පයින් ගහනවා. රාජපක්‍ෂලාගෙ බලය බාප්පලාගෙන් පුතාලටත් ලබාදෙන්නයි මේ කටයුතු කරන්නේ.

හිටපු අමාත්‍ය දයානන්ද වික්‍රමසිංහ මහතා - 1975 දීත් පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙච්ච ජිනදාස නියතපාල, රුක්‌මන් සේනානායක, පර්සි විඡේසේකරව පක්‍ෂයෙන් එලෙව්වා. මේ වරප්‍රසාදවලට, නඩුවලින් බේරෙන්න පක්‍ෂය මාරු කරන අය ගහල එලවන්න ඕනෑ. දෙපිටකාට්‌ටු වැඩ කරන අය එදා එජාපයෙ හිටියේ නැහැ. අදටත් හෙටටත් එම ප්‍රතිපත්තිය වලංගුයි.

Sunday, September 5, 2010

හේලීස්‌ සමූහයට ඇග් - බිස්‌ සම්මාන උළෙලේදී රන් සම්මාන 4 ක්‌ ඇතුළුව සම්මාන 7 ක්‌

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ලබා දෙන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් හේලීස්‌ සමූහයේ කෘෂි ආශ්‍රිත සමාගම් 2010 ජාතික ඇග්බිස්‌ සම්මාන උළෙලේදී සම්මාන හතක්‌ දිනා ගත් අතර, එය එම සම්මාන උළෙලේදී එක්‌ කණ්‌ඩායමක්‌ විසින් දිනාගන්නා ලද වැඩිම සම්මාන සංඛ්‍යාවද වෙයි.


මෙහිදී එච්. ෙ-. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ ලිමිටඩ්, සන්ෆේ‍රස්‌ට්‌ ලිමිටඩ් සහ හේලීස්‌ ඇග්‍රො ප්‍රොඩක්‌ස්‌ ලිමිටඩ් විසින් රන් සම්මාන හතරක්‌, රිදී සම්මාන දෙකක්‌ සහ ජාතික සම්මාන කාණ්‌ඩයේ ලෝකඩ සම්මානයක්‌ හිමිකර ගත්හ.

හේලීස්‌ සමූහය මෙම සම්මාන උළෙලේ ජයග්‍රහණය හිමිකර ගත්තේ සාර්ථක පස්‌වන වසරට වන අතර, මෙවර සම්මානයට පාත්‍ර වීමට හේතුවූ කාරණා අතර කෘෂි ක්‌ෂේත්‍රයට නව සේවා හඳුන්වා දීම, සේවා ව්‍යාප්තිය, පර්යේෂණ සහ සංවර්ධනය, කාර්යාවලි වැඩිදියුණු කිරීම, රැකියා අවස්‌ථා ජනනය කිරීම, කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ යෙදවුම් සඳහා තිරසාර සැලසුම් හඳුන්වාදීම, නිෂ්පාදනය, අලෙවිකරණය සහ සත්ව සෞඛ්‍ය නිෂ්පාදන හඳුන්වාදීම යන කාරණා අයත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම පලතුරු සහ එළවලු අපනයනකරුවා වන එච්. ඡේ. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ සමාගම "මහා පරිමාණ" කාණ්‌ඩය යටතේ අලෙවිකරණය සඳහා රන් සම්මානයක්‌ සහ ජාතික සම්මාන අතරින් ලෝකඩ සම්මානයක්‌ දිනා ගන්නා ලදී.

සම්මාන හිමිකරගත් හේලීස්‌ සමාගම් වල නියෝජිතයන් (වමේ සිට) කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී එම්. ඒ. රාජාප්, සත්ව සෞඛ්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය එස්‌. මල්ලවආරච්චි, හේලීස්‌ ඇග්‍රො ප්‍රොඩක්‌ට්‌ස්‌ ලිමිටඩ් හි අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී යූ. ඊ. ආර්. ගන්ගොඩ, හේලීස්‌ සමූහයේ විධායක අධ්‍යක්‍ෂ රිස්‌වි සහීඩ්, එච්. ඡේ. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්‍ෂක ඒ. සී. වික්‍රමනායක, කෘෂි නිෂ්පාදන අංශයේ ජාත්‍යන්තර අලෙවිකරණය සඳහා ප්‍රධානී රුවන් රාජපක්‍ෂ, භෝග ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂක/ සාමාන්‍යාධිකාරී එස්‌. එම්. ගමගේ සහ හේලීස්‌ ඇග්‍රො ෆර්ටිලයිසස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් හි අධ්‍යක්‌ෂක සාමාන්‍යාධිකාරී නන්දලාල් පෙරේරා යන මහත්වරුන් ඡායාරූපයේ වෙති. (Divaina Irida)

පසුගිය වසරේ වැඩිම ආදායම් ලැබුවේ ජාතික රූපවාහිනියයි ප්‍රසන්න ජයසුන්දර නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් (අලෙවි

විද්යුත් මාධ්‍ය තරගකාරී බවින් ඉදිරියට ගමන් කරද්දී ඊට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ද ක්‍රියා කිරීම පැසසිය යුක්‌තකි. පෞද්ගලික නාලිකා බොහෝ අවස්‌ථාවල ශ්‍රී ලාංකික සංස්‌කෘතිය, සදාචාරය පිළිබඳ එතරම් අවධානයක්‌ යොමු නොකළත් ජාතික රූපවාහිනිය එකී සීමා මායිම් කඩා බිඳ දැමීමට ක්‍රියා නොකිරීම එහි සදාචාරත්මක අනන්‍යතාවයි. රටක ජාතික නාලිකාව ඒ රටේ සංස්‌කෘතිය, සදාචාරය පමණක්‌ නොව අභිමානය ද විය යුතුය. ජාතික රූපවාහිනිය ඒ සියලු තත්ත්වයන් රැක ගනිමින් මේ වන විට අනෙකුත් නාලිකා අභිබවමින් මූල්‍යමය ප්‍රතිලාභ අංශයෙන්ද පෙරමුණ ගෙන ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් ප්‍රසන්න ජයසුන්දර මහතා පැවැසීය.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ආරම්භ කළ යුගයේ කිසිම තරගයක්‌ තිබුණේ නැහැ. තරග කරන්න වෙනත් නාලිකා තිබුණේ නැහැ. නමුත් පෞද්ගලික නාලිකා ආරම්භ වුණාට පස්‌සේ නවීන තාක්‌ෂණයත් එක්‌ක ලෝකයේ විවිධ නාලිකාවල විකාශය කෙරෙන ජනප්‍රිය රැල්ලේ වැඩසටහන් අනුකරණය කරමින් විකාශය කරන්න පටන් ගත්තා. අපට අද වන විට එවැනි නාලිකා 16 එක්‌ක තරග කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක විශාල අභියෝගයක්‌ වුණත් මහජනතාවගේ පිළිගැනීම හා විශ්වාසය එදා සිට අද දක්‌වා නොවෙනස්‌ව පවතින නිසා ජාතික රූපවාහිනිය කිසි දවසක දෙවැනියා වුණේ නැහැ. මේ රටේ තියෙන දැවැන්තම නාලිකාව හැටියටත් හොඳම වැඩසටහන් සහිත නාලිකාව හැටියටත් මෙය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්‌තිය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය මගිනුයි. ජාතික රූපවාහිනිය සමග තවත් ප්‍රධාන නාලිකාවක්‌ අපට තිබෙනවා. එම අනෙක්‌ නාලිකාව මගින් දහවල් කාලයේ නේත්‍රා නමින් දෙමළ ජාතික ප්‍රේක්‌ෂකයන් උදෙසා වැඩසටහන් විකාශය කරනවා. රාත්‍රියේදී චැනල් අයි නමින් ක්‍රීඩා විකාශයක්‌ සිදු කෙරෙනවා. අපේ ගනුදෙනුකරුවන් සතුටට පත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව අපි ක්‍රියා කරනවා. අපිත් එක්‌ක එදා කාලයේ පටන් සිටි ගනුදෙනුකරුවන් තවදුරටත් රැක ගනිමින්, අලුත් ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් එකතු කර ගැනීම අපගේ කාර්යයි. මෙතැනදී වෙළෙඳ ප්‍රජාවගේ දැඩි නීති රීතිවලට අවනත නොවී ක්‍රියා කරන්න අපි වග බලා ගන්නවා. ඇතැම් නාලිකා වෙළෙඳ අරමුණු මත බාල වැඩසටහන්වලට වැඩි ප්‍රචාරයක්‌ ලබා දෙමින් බලහත්කාරයෙන් ඒවා ප්‍රේක්‌ෂකයන් අතර ජනප්‍රිය කරවන්න උත්සාහ කරනවා.

කිසියම් වැඩසටහනක ඕනෑවට වඩා ආරවුල් ස්‌වභාවයන් ඉස්‌මතු කළා ම ඒවාට මහජනතාවගේ තර්ක විතර්ක මතුවෙද්දී එවැනි වැඩසටහනක්‌ අතරතුර වෙළෙඳ දැන්වීමක්‌ ප්‍රචාරය කිරීමෙන් වෙළෙඳ ආයතනයේ අපේක්‌ෂාව ඉටු වෙන්නේ නැහැ.

වෙළෙඳ විරාමයකදී ප්‍රේක්‌ෂකයාගේ මනස නිදහස්‌ නම් පමණයි වෙළෙඳ දැන්වීමට හිත යොමු වෙන්නේ. ජනප්‍රිය රැල්ල පස්‌සේ ගිය වෙළෙඳ ආයතන අද වන විට අප වෙත වැඩි වශයෙන් නැඹුරුවී ඇත්තේ මේ යථාර්ථය ඔවුන්ගේ ප්‍රායෝගිකව අත්දුටු නිසා විය හැකිය. අනික අපි අපේ වැඩසටහනකට අනුග්‍රාහකයන් තෝරා ගනිද්දී ඒ වැඩසටහනේ අන්තර්ගතයට වඩාත්ම සුදුසු වෙළෙඳ ආයතනය තෝරා ගන්න ක්‍රියා කරනවා. නොගැලපෙන ආයතනයක්‌ වැඩි මිලකට ඉල්ලුවත් අපි දෙන්නේ නැත්තේ ඒකයි. මේ වනවිට වැඩිම ආදායමක්‌ ලබන රූපවාහිනි ආයතනය බවට අපි පත්වෙලා ඉවරයි.

පසුගිය වසරේ ආදායම් 14% කින් වැඩිවෙලා තියෙනවා. මේ වසරේ පළමු මාස හයේදීම අදාළ ඉලක්‌ක අභිබවා ගොස්‌ තිබෙනවා. ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක්‌ මාසයක්‌ ඇතුළත ලැබූ වැඩිම ආදායම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව පසුගිය මාසයේ දී උපයා ගනිමින් එය වාර්තාවක්‌ බවට පත් කර තිබෙනවා. අපේ ප්‍රේක්‌ෂකයන්, අනුග්‍රාහකයන් වෙළෙඳ නියෝජිතයන් වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය ඇතුළු සියලුම අංශවල කාර්යක්‍ෂමතාව නිසා මෙවැනි ප්‍රගතියක්‌ දිනෙන් දින අපට හිමි වන බව මම ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අතර ඒ සියලු දෙනාටම අපගේ ස්‌තුතිය පළ කරනවා. ප්‍රසන්න මහතා පැවැසීය.

ජාතික රූපවාහිනිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහි වැඩබලන අධ්‍යක්‌ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ මහතා සමග ද අපි සාකච්ඡා කළෙමු.

ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා

දේවප්‍රිය අබේසිංහ වැඩ බලන අධ්‍යක්‌ෂ ජෙනරාල්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව

"අපේ වැඩසටහන් සියල්ලම වගේ අපි අලුත් ආරකට ඉදිරිපත් කරගෙන යනවා. ඉතාම මෑතකදී ඒ වෙනස්‌කම් සිදු කළා. රාත්‍රි 10 න් පසුව විකාශය කෙරෙන වැඩසටහන්වලට ප්‍රේක්‌ෂක ප්‍රතිචාරය තරමක්‌ අඩුවෙලා තිබුණා. නමුත් මේ වනවිට රාත්‍රි 10 න් පසුව විකාශය කරන වැඩසටහන්වලට විශාල ඉල්ලුමක්‌ ඇති වී තිබෙනවා. නව සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ පැමිණීමෙන් පසු මෙම වෙනස්‌කම් සිදු කළා. විශේෂයෙන්ම අපි රාත්‍රි 10.05 ට අලුත් විකාශන කාලයක්‌ හඳුන්වා දුන්නා. සතියේ දිනවලින් එක දවසක්‌ දේශපාලන වැඩසටහනකට වෙන් කළා. අනිත් දවස්‌වල සංගීතමය වැඩසටහන් කලාත්මක වැඩසටහන් චිත්‍රපට විනෝදාත්මක වැඩසටහන් අපි විකාශය කරනවා. මේ සඳහා ඉහළම ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒත් එක්‌කම දිනපතා රාත්‍රි 9.00 අපි ටෙලි නාට්‍ය සඳහා වෙන්කර තිබෙනවා. දැනට අපි ඒ වෙලාව ප්‍රේක්‌ෂකයන්ට හුරුවීම සඳහා කලින් විකාශය වුණු වැඩි ප්‍රතිචාර ලැබුණු ටෙලි නාට්‍ය නැවත විකාශය කරනවා. ඉදිරියේදී අලුත් ටෙලි නාට්‍ය ඒ වෙලාවට විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් ටෙලි නාට්‍ය 150 ක්‌ පමණ විකාශය සඳහා වේලාවන් ලබාදීමට පෝළිමේ තිබෙනවා. අනෙකුත් නාලිකාවල ටෙලි නාට්‍ය ඕනෑතරම් විකාශය වූවත් තවමත් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙන්නේ ජාතික රූපවාහිනිය ඔස්‌සේ ටෙලි නාට්‍යයක්‌ විකාශය කිරීමටයි. ඔවුන් ඒ වෙනුවෙන් අවුරුදු දෙක තුනකට වැඩිය වුවත් බලාගෙන ඉන්නවා. මේ නිසා ටෙලි නාට්‍ය සඳහා විශාල තදබදයක්‌ අපට තියෙනවා. මේක අපි මුහුණ පාන විශාල අර්බුදයක්‌ බවටත් පත්වෙනවා. ටෙලි නාට්‍යවලට අමතරව සති අන්තයේ විශේෂ වැඩසටහන් කිහිපයක්‌ හඳුන්වාදී තිබෙනවා. වැඩි ඉල්ලුමක්‌ ඇති ආයුබෝවන් වැසටහනත් නව ආරකින් විකාශය කරනවා. අලුත් ගීත රැසක්‌ අපි ඉදිරිපත් කරනවා. ජනප්‍රිය සංගීත කණ්‌ඩායම් හා නවක ගායක ගායිකාවන්ට අවස්‌ථාව උදාකර දෙන වැඩසටහන් අපි අලුතෙන් හඳුන්වා දුන්නා. ලබන මාසේ සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා. තේමා වාදනයේ සිට සියල්ලම වෙනස්‌ කරන අතර පක්‌ෂ භේදයකින් තොරව සමබර ප්‍රවෘත්ති ගෙන එන්නත් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ අවස්‌ථා රූපවාහිනි වැඩසටහන් ඔස්‌සේ ලබා දෙන්නත් අපි පියවර ගෙන තිබෙනවා. මේක ඉදිරියේදී ලොකු වෙනසක්‌ වගේම ඉහළම ප්‍රතිචාර ලැබේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ඒත් එක්‌කම රාත්‍රි 7 ටත් ටෙලි නාට්‍ය විකාශන කාලයක්‌ අපි හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව සම්භාව්‍ය සංගීත වැඩසටහන් ඉරිදා රාත්‍රි 11.00 ට විකාශය කෙරෙනවා. මේ වැඩසටහන් බොහෝ දෙනෙක්‌ හොඳ ප්‍රතිචාර දක්‌වා තිබෙනවා. විශේෂයෙන්ම ශාස්‌ත්‍රීය සංගීතය හදාරණ පිරිස මේ ගැන උනන්දුයි.

අපි ගොඩක්‌ වෙලාවට රේටින් මත පදනම් වෙලා වැඩසටහන් කරන්නේ නැහැ. මොකද රේටින්ස්‌ මනින ක්‍රමය පිළිබඳව අපට කිසිම විශ්වාසයක්‌ නැහැ. රේටින්ස්‌වලින් සමහර නාලිකා ඉහළින්ම ඉන්න බව ඒ අයම ප්‍රකාශ කළත් ආදායම අතින් අපට කිට්‌ටු වෙන්නවත් අනෙකුත් නාලිකාවලට පුළුවන්කමක්‌ නැහැ. ආදායම අතින් කිසිම තරගකාරිත්වයක්‌ අනෙකුත් නාලිකා සමග අපට නැහැ. රේටින්ස්‌ බලලා තමයි වෙළෙඳ ආයතන වැඩකරන්නේ. එහෙම තිබිලත් අපට විශාල ආදායමක්‌ හිමි වෙනවා. ඒත් එක්‌කම කිවයුතු දෙයක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්‌ම ආවරණය කරන එකම රූපවාහිනි නාලිකාව වන්නෙත් අපියි. කොකාවිල්වල අපි අලුතෙන් විකාශන කුළුණක්‌ හදාගෙන යනවා. මේ වසර අවසන් වෙද්දී ඒ හරහා ඩිජිටල් තාක්‌ෂණය ඔස්‌සේ විකාශන කටයුතු ආරම්භ කරනවා. රූපවාහිනි ඩිජිටල් විකාශනයක්‌ මුලින්ම ආරම්භ කරන්නෙත් අපියි. එයත් රූපවාහිනි ඉතිහාසයේ වැදගත් අවස්‌ථාවක්‌ බවට පත්වේවි. (Divaina Irida)

ධුර කාලයේ සීමාව ඉවත් කිරීම රටට වැඩ කිරීමට අලුත් ශක්‌තියක්‌ ලබා දෙනවා - ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක්‌ ආණ්‌ඩුව විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. එම සංශෝධනය ඉදිරිපත් කිරීම, විපක්‍ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‍ෂයට එකතුවීම යන කාරණා මූලික කර ගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවයි මේ.


ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ඔහුගේ දෙවන ධුර කාලයේ දිවුරුම් දීමවත් සිදුකර නැහැ. එසේ තිබියදී ලහි ලහියේ ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ ඇයි? තමන්ගේ පරපුරම බලය තබාගෙන කටයුතු කිරීම සඳහා යන ගමනට මෙමගින් පදනම දමනවාද?

පිළිතුරු - ඇත්ත වශයෙන්ම මේ කටයුත්ත ලහි ලහියේ කරන ලද්දක්‌ නෙමෙයි. පසුගිය වාරයේ අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරපු වෙලාවෙත් මේක සාකච්ඡා කළා. මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ මේ ගැන ඊට වැඩිය සාකච්ඡා වුණා. දැනට මාස දෙකකට පමණ පෙරයි, මේක ඉදිරිපත් වුණේ. දැන් අවසන් කෙටුම්පත සකස්‌ කරලයි මේක ඉදිරිපත් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකුට සහයෝගය දීම සඳහා ජ.වි.පෙ. කොන්දේසි හතරක්‌ දැම්මා. එයින් ප්‍රමුඛම කොන්දේසිය වුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතැනදී අපි කිව්වේ, අපි ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නැහැ කියලයි. අපි මහින්ද චින්තනයේදී කිව්වේ, ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරනවා කියලයි. නමුත් මහින්ද චින්තන ඉදිරි දැක්‌මේදී අපි කිව්වේ, ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවත් සමග බැඳෙන, ව්‍යවස්‌ථාදායකයත් එක්‌ක සම්බන්ධ වෙන තනතුරක්‌ බවට පත් කරනවා කියලයි. එදා මහින්ද චින්තනයට දුන් ජනවරමටත් වඩා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ පොදු අපේක්‍ෂකයාටත් වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ජනතාව අනුමත කළා.

අපේ රටේ පරමාධිපත්‍ය බලය උසුලන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනික්‌ සියල්ලටම වඩා උතුම්. ජනතාවගෙන් වැඩි දෙනෙක්‌ ගන්නා වූ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි, කියන එකයි මේ පරමාධිපත්‍යය කියලා කියන්නේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කළ හැකි ක්‍රම කිහිපයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවෙන් පරිච්ඡේදයේ හතර වෙනි වගන්තියේ මෙහෙම තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් නොහළ හැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලය මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත් වන්නේය.

පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම, භුක්‌ති විඳීම මතු දැක්‌වෙන ආකාරයෙන් තිබිය යුතුය.

1. ජනතාවගේ ව්‍යවස්‌ථාපිත බලය, ජනතාව විසින් තෝරා පත්කරනු ලබන මන්ත්‍රීවරයාගෙන් සමන්විත, පාර්ලිමේන්තුවක්‌ විසින්ද ජනමත විචාරණයකදී පමණක්‌ ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

රටේ ආරක්‍ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

මෙතැනදී ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අයිතියක්‌ ජනතාවට තියෙනවා. ඒ සඳහා බාධා තිබෙනවානම් ජනතා පරමාධිපත්‍යයට ඒක හානියක්‌. මේ නිසා ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනට සීමා පනවන්න පුළුවන් කමක්‌ නැහැ. ජනතාව විසින් දෙවරක්‌ තෝරා පත්කර ගත් අයෙකුට ජනාධිපතිවරයා වීමට නොහැකිය යන කොන්දේසිය, බැලුවොත්, ඒක ඉතාම අසාධාරණ කොන්දේසියක්‌. ජනතාවගේ කැමැත්ත කියන එක දෙවරක්‌ ලැබුණු පුද්ගලයෙකුට ජනතාව ඉදිරියට යළි යන්න බැහැ කියන එක සාධාරණ නැහැ. මේක කුමන අන්දමින්වත් ජනතාවගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමක්‌ නොවෙයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයේ ධූර කාලය අවුරුදු දොළහක්‌ කරන එක නෙමෙයි. ජනතාවට තෝරා ගැනීම සඳහා අයිතියට දමන ලද සීමාවන් ඉවත් කිරීමක්‌ පමණයි මෙතැනදී වෙන්නේ.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයන් ලෙස පිළිගැනෙන ඇමරිකානු එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරයාට තම ධුර කාලය දෙවරකට වඩා දැරිය නොහැකි බවට වන සීමාවක්‌ එම ව්‍යවස්‌ථාවෙන්ම තිබෙනවා. එසේ තිබියදී, මෙරටදී එම සීමාව ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක්‌ යෑයි ඔබ සඳහන් කරන්නේ කෙසේද?

පිළිතුරු - ඇමරිකාවේ සීමාවක්‌ තිබීම, අපේ රටේ සීමාවක්‌ නොතිබීමට බාධාවක්‌ කරගත යුතුද? මේ රටේ දෙවරක්‌ ජනාධිපති වීමට සුදුසුවන පුද්ගලයාට යළිත් ජනතාවගේ වරම ලැබීම සඳහා නුසුදුසුකමක්‌ තිබෙනවා. ඒ නුසුදුසුකම තමයි දෙවරක්‌ ජනාධිපති වීම. එවැනි බාධා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වන්නේ නැහැ.

ප්‍රශ්නය - චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදී මෙවැනි තත්ත්වයක්‌ තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා. මේ නිසා මෙම සීමාව ඉවත් කිරීම ජනතාවගේ තේරීම පටු කිරීමට බලපාන්නේ නැද්ද?

පිළිතුරු - ජනතාවට එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යළිත් වරක්‌ තෝරා ගැනීමට අවශ්‍යතාවයක්‌ තිබුණා නම් එම අයිතිය දිය යුතුයි. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙම වගන්තිය ව්‍යවස්‌ථාවට ඇතුල් කළේ තමන්ට වාසිදායක ක්‍රමයට. ජනතාව විසින් දෙවරක්‌ තෝරාගත් ජනාධිපතිවරයෙක්‌ යන වගන්තිය තුළින් ඔහු අදහස්‌ කළේ, ඔහු ජනතාව විසින් ජනාධිපති ලෙස තෝරා ගත්තේ එක්‌ වරක්‌ පමණක්‌ නිසා, තවත්වාරයකට යන්නයි. ඒ අනුව තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ වුණා. ඔහු ඒ සඳහා කමිටුවකුක්‌ පත් කළා. නමුත් එදා මේ රටේ හැම ගහකම, ගලකම, ලයිට්‌ කණුවකම තිබ්බේ ඡේ. ආර්. පන්නමු, මරව් කියලයි. මේ නිසා ජනතාවට ඡේ. ආර්. එළවන්න ඕනේ කියන අදහස තිබුණා. ඒ නිසා ඡේ. ආර්. ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්‌ථාව තිබුණත් පක්‍ෂය හා ජනතාව තුළින් එය සීමා වුණා. එදා තෙවෙනි වරට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව චන්ද්‍රිකාට ව්‍යවස්‌ථාවෙන් තිබුණේ නැහැ. නමුත් මෙතැනදී එම අවස්‌ථාව චන්ද්‍රිකාට යළිත් ලැබිලා තිබෙනවා.

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ගත කරන්නේ ඔහුගේ පළමු ධුර කාලය. ඔහුගේ දෙවෙනි ධුර කාලය සඳහා දිවුරුම් දීමටත් පෙර මෙවැනි සංශෝධනයක්‌ සඳහා ආණ්‌ඩුව යොමුවුනේ ඇයි?

පිළිතුර - ඒක ඉතාම වැදගත් කාරණයක්‌. ඒක තමයි මෙතැන තියෙන හරය. ජනාධිපතිවරයා තෙවැනි වරටත් ඡන්දයකට ඉදිරිපත් වීම නොවෙයි. ජනාධිපතිවරයාට ලැබුණු ධුර කාලයේ දී ඔහුට ජනතාව ලබාදුන් බලය බයක්‌ සැකක්‌ නැතිව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබා දීමක්‌ මෙතැනදී කෙරෙනවා. ජනතාවට වැඩ කරන්න, රටට වැඩ කරන්න, ජනාධිපතිවරයාට මෙයින් බලය ලැබෙනවා. මෙතැනදී පැහැදිළිව බලන්නá ඡේ. ආර්., චන්ද්‍රිකා, ක්‌ලින්ටන්, බුෂ් ආදී අයගේ පළවෙනි ධුර කාලය යි, දෙවෙනි ධුර කාලය යි අතර වෙනස. මේ ආදී සෑම ජනාධිපතිවරයෙකුගේම දෙවෙනි ධුර කාලයේදී ජනතා හිතවාදී පියවර වලට ගියේ නැහැ. ඔවුන් යළිත් ජනතාව ඉදිරියට නොයන හින්දා හිතුමතේ කටයුතු කළා. ඒ වගේම එම ආණ්‌ඩුවල ස්‌ථාවර භාවය නැති වුණා. චන්ද්‍රිකා මැතිනිය එතුමියගේ දෙවෙනි ධුර කාලයේදී, පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. නමුත් හකීම්ගෙන් පටන්ගෙන එස්‌. බී. ඇතුළු පිරිස්‌ ආණ්‌ඩුවෙන් ගිහිල්ලා ආණ්‌ඩුවද වැටුණා.

ඡේ. ආර්. ජයවර්ධනගේ අවසාන කාලයේදී මුළු රටම අරාජික වුණා. ක්‌ලින්ටන් බැලුවත් එහෙමයි. පුද්ගලික චරිතය කැලැල් කර ගනිමින් ඇමරිකානු ඉතිහාසයේ ඔහු නම සටහන් කරගෙන ජනතාවගෙන් සමාව ඉල්ලුවා. බුෂ්ගේ දෙවෙනි පාලන කාලයේ දී මුළු ඇමරිකානු ආර්ථිකයම කඩාගෙන වැටුණා.

දෙවෙනි ධූර කාලය දරන ජනාධිපතිවරයෙකු වැඩ කරන්නේ "මම යළිත් ජනතාව ඉදිරියට යන්නේ නැහැ" කියන අදහසෙනුයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඔවුන් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි ධුර කාලය වනවිට නිලධාරින්, ඇමැතිවරු ආදී පුද්ගලයන් කල්පනා කරන්නේ, "මෙයාගේ කාලේ ඉවර වේගෙනයි යන්නේ, ඊළඟට එන්නේ කවුද?" කියලයි. මෙහෙම ගියාම රටට මොකක්‌ද වෙන්නේ. රටේ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ මතුවෙනවා.

ප්‍රශ්නය - ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව ඔබ දිගින් දිගටම පවසනවා. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීම සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරගනිමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්‍ෂය යනු අත්‍යාවශ්‍ය සාධකයක්‌. විපක්‍ෂ මන්ත්‍රීවරු බිලි බා ගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන අතුල් පහරක්‌ නොවේද?

පිළිතුරු - මෙතැනදී පැහැදිළිවම කිව යුත්තේ, මේ බිලි බා ගැනීමක්‌ නොවෙයි. මේ මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය. ඔවුන් ජනතාවගේ අදහස්‌ දන්නවා. රටේ ජනතාව ඉන්නේ කොයි පැත්තේද ඒ වෙලාවේ මන්ත්‍රීවරු හැසිරෙන්නේත් ඒ ආකාරයෙන්. ඒ නිසා තමයි මේ මන්ත්‍රීවරු අප සමග එක්‌ වන්නේ. එදා ත්‍රස්‌තවාදයට එරෙහිව අපි මානුෂික මෙහෙයුම කරනකොට අයවැය පරාජය කරන්න, ආණ්‌ඩුව වට්‌ටන්න පාර්ලිමේන්තුව තුළ සැලැස්‌මක්‌ තිබුණා. එතැනදී ජනතාව සිටියේ අපිත් සමග. ඒ නිසා ජනතා නියෝජිතයන් පිරිසක්‌ විපක්‍ෂයේ ඉඳලා ඇවිල්ලා අපිත් සමග එකතුවෙලා ජනතාවගෙ මතය අනුව කටයුතු කළා. එතැනදී අපේ මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ විපක්‍ෂයට ගියා. ඒ ගැන කතා කරන කොට බිලිබා ගන්නවා කියලා කියන්නේ නෑනේ. මේ වෙන්නේ බිලි බා ගැනීමක්‌ නෙවෙයි. ජනතාවගේ මතය අනුව මන්ත්‍රීවරු හැසිරීමක්‌. ශ්‍රී ල.නි.ප.යත් බිහි වුණෙත් මේ වගේ පිල් මාරුවක්‌ නිසයි. බණ්‌ඩාරනායක මහතා හා ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එදා එ.ජා.ප.යේ සිට විපක්‍ෂයට ආවා. සිංහල මහ සභාව හරහා තමයි ඔවුන් එ.ජා.ප.යට ඇතුල් වුණෙත්. මෙහිදී එම ජනතාවගේ අදහස්‌ ඔවුන්ට බලපෑවා.

ප්‍රශ්නය - ආණ්‌ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ ආසන 146 යි. එතැන් සිට ව්‍යවස්‌ථා සංශෝධනයට අවශ්‍ය ඉතිරි ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්‌ඩුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්‍ෂා කරනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන්නේ තුනෙන් දෙකේ බහුතරයකින් වුවත්, ඒ සියල්ල ආණ්‌ඩුවටම ලැබුණු ඡන්ද නොමෙයි, කියන එකනේ. එසේ නම් තමන්ට ලැබුණු ජනවරමෙන් ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා යෑයි ආණ්‌ඩුව කියන කතාව අසත්‍යයක්‌ නේද?

පිළිතුරු - මේ ව්‍යවස්‌ථාව හැදුවේ කුමන තත්ත්වයක පාර්ලිමේන්තුවක්‌ද? එයට එදා ලැබුනේ කෙබඳු ජනවරමක්‌ ද? මේ ව්‍යවස්‌ථාව 1978 හදන කොට එ.ජා.ප.යට 1977 දී ඡන්ද ලැබුණේ තිස්‌එක්‌ලක්‍ෂ හැත්තෑ නවදහස්‌ දෙසිය විසිඑකයි. එය ප්‍රතිශතයක්‌ ලෙස 50.9% යි. කේවල ක්‍රමය නිසා එදා පාර්ලිමේන්තු නියෝජනයේ ආණ්‌ඩු පක්‍ෂය හයෙන් පහක්‌ වුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී හැට ලක්‍ෂ පහළොස්‌ දහස්‌ නවසිය තිස්‌ හතරක ඡන්ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණා. එය ප්‍රතිශතයක්‌ ලෙස 57.88% යි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී 60.33% ක ඡන්ද ප්‍රතිශතයක්‌ අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ 1977 දී මෙම ව්‍යවස්‌ථාව නිර්මාණය කරන්න ලැබුණු ජනවරමටත් වඩා වැඩි ජනවරමක්‌ මෙම සංශෝධනය සඳහා ලැබී තිබෙනවා. ඊට අමතරව නුවර දී එ.ජා.ප.යෙන් පළවෙනියා වුණු කාදර් මහතා, නුවර එළියේදී මනාපයෙන් පළවෙනියා වුණු දිගම්බරම් මහතා, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එකම දෙමළ මන්ත්‍රීවරයා වන ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු එ.ජා.ප.යට මඩකලපුවෙන් ආපු එකම මන්ත්‍රීවරයා, ත්‍රිකුණාමලෙන් එ.ජා.ප.යෙන් ආපු එකම මන්ත්‍රීවරයා, අම්පාරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙන්නාම, ඒ කියන්නේ මුළු නැගෙනහිර පළාතෙන්ම එ.ජා.ප.යෙන් ආපු මන්ත්‍රීවරු හතර දෙනාමත් මෙම සංශෝධනයට සහාය පළ කරනවා. උතුරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌, නුවර එළියේ දී එ.ජා.ප.යෙන් දෙවෙනියා වෙමින් පත්වූ හකීම් මහතාත් මෙයට සහාය දෙනවා. මේ සංශෝධනය ඇත්තටම මේ ව්‍යවස්‌ථාව නිර්මාණය කර සම්මත කර ගත්තාටත් වැඩිය, ජනතා අනුමැතියක්‌ ලැබී තිබෙනවා. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට ජවිපෙ රහස්‌ ඡන්දයක්‌ ඉල්ලයි

18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා 08 වැනිදා, පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුම රහස්‌ ඡන්දයක්‌ ලෙස පැවැත්විය යුතු යෑයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.


ඒ සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ නොකළහොත් තම පක්‌ෂය එම ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා පැවැසීය.

රහස්‌ ඡන්දයක්‌ පවත්වනවාද, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසනවාද, යන්න පිළිබඳ තීන්දුව ලබාදීම කථානායකවරයා සතු බවද හේරත් මහතා පැවැසුවේය. (Divaina Irida)

ඉවත දමන කල් ඉකුත් වූ ආහාර බලෙන් රැගෙන විකුණන කල්ලියක්‌

ආනයනය කරන ලද පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට රැගෙන යද්දී ඒවා අතරමඟදී හොර රහසේම ලබාගෙන නැවත අලෙවි කරන කණ්‌ඩායමක්‌ පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්‌ඨාශය වෙත ලැබී ඇත.


මෙම සංවිධානාත්මක කණ්‌ඩායම සමඟ කොළඹ පාතාලයේ ප්‍රබලයන් කීපදෙනෙකු ද සම්බන්ධ වී සිටින බව පොලිස්‌ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පවසයි. මේ ආකාරයට වෙළෙඳපොළට එන පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම නිසා මහජනතාවට නොයෙකුත් ලෙඩ රෝග වැළඳීමට ඉඩ ඇති බව ද ඒ මහතා කියා සිටියි.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායම පිළිබඳව තොරතුරු ලැබීම නිසා විනාශ කිරීමට රැගෙන ගිය පාවිච්චියට නුසුදුසු ආහාර සහිත කන්ටේනර් රථ 4 කට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ආරක්‍ෂාව ලබා දීමට කොළඹ අපරාධ කොට්‌ඨාශය කටයුතු කර තිබේ.

කොළඹ වරායෙන් ඉවත් කරන ආනයනික කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රථවල බහාලූ ආහාර විනාශ කිරීම සඳහා රැගෙන යද්දී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම විසින් අතරමගදී ඒවා ඔවුන්ට අයත් ලොරි වලට පටවා ගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

මෙම ක්‍රියාව සඳහා වරායේ ඇතැම් සේවකයන් ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නිට්‌ටඹුව දඩගමුව ප්‍රදේශයේ ස්‌ථාන කීපයකදී වළ දමා විනාශ කරන අතර ඒවා එම ස්‌ථානවලට රැගෙන යද්දී අතරමඟදී මෙසේ ලබාගෙන රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගන්නා බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඉතාම සංවිධානාත්මක ආකාරයට සිදු කෙරී ඇති අතර පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක්‌ නැවත වෙළෙඳපොළට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එජාපයෙන් මන්ත්‍රීවරු හයක්‌

ආණ්‌ඩුව ලබන බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ ඡන්ද ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


දැනටමත් ලක්‌ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර සහ මනූෂ නානායක්‌කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටින බව ප්‍රකාශ කර ඇත. මෙයට අමතරව , වයඹ හා බස්‌නාහිර යන පළාත්වල දිස්‌ත්‍රික්‌ක දෙකක්‌ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සංශෝධනයට පක්‌ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ. මොවුන් රජයේ ප්‍රබල ඇමැතිවරුන් සමග සාකච්ඡා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂයට කථානායකවරයා හැර මන්ත්‍රී ධුර 145 ක්‌ හිමි අතර එජාප මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා ආණ්‌ඩුව සමග සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අට දෙනාගේ ඡන්දයද ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ප්‍රකාශ කරන බව එම පක්‌ෂය ප්‍රකාශ කරන ලදී.

පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට මන්ත්‍රීවරු 150 දෙනෙකු අවශ්‍ය නමුත් දැනටමත් ආණ්‌ඩුවට මන්ත්‍රීවරුන් 154 දෙනෙකුගේ සහාය හිමිව තිබේ.

අගමැති දි. මු. ජයරත්න මහතා විසින් 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා කෙටුම්පත බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එදින රාත්‍රි 7.00 ට පනත පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරේ. (Divaina Irida)

Saturday, September 4, 2010

මරණ දඬුවමෙන් ගැලවෙන්න බිමට පැන අඬු කඩා ගනී

යාපනයේ ද්‍රවිඩ ජාතිකයකුට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ මොහොතේ ඔහු මහාධිකරණයේ උඩුමහලෙන් බිමට පැන පලායැමට තැත් කරද්දී ඇද වැටීම නිසා අසුවීමේ සිද්ධියක්‌ වාර්තා වේ.


තම පුත්‍රයාව මරා දැමීම සම්බන්ධයෙන් මොහුට යාපනයේ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරන ලදී.

රාසකුමාර් රාඡ්කුමාර් නමැති මොහුට එරෙහිව 2003 සිට නඩු විභාගය පවත්වා තිබිණි.

අනාගතයේදී සිදුවන දේ දැක ජනාධිපති කඩිනමින් ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට යනවා - ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ

අනාගතයේදී සිදුවන දෑ දැක ඇති ජනාධිපතිවරයා ජනතා විරෝධය මැඬපැවැත්වීමේ ආම්පන්න එකතු කර ගැනීම සඳහා කඩිමුඩියේ ව්‍යවස්‌ථාව සංශෝධනය කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ (03 දා) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෝමවංශ අමරසිංහ මහතා මෙසේ ද පැවැසුවේය.

මේ ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ කඩිමුඩි පනතක්‌ ලෙසයි. ව්‍යවස්‌ථාව ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේත් අටවැනිදා විතරයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ සංශෝධන කුඩාද විශාලද කියා සලකන්න බැහැ. මෙය තමයි රටේ තිබෙන ඉහළම ලේඛනය. ඒ නිසා ව්‍යවස්‌ථාවේ අකුරක්‌ හෝ වෙනස්‌ කරනවා නම් එය රටේ ජනතාවගේ, විද්වතුන්ගේ, දේශපාලන පක්‍ෂවල අවධානයට ලක්‌කිරීමට ප්‍රමාණවත් කාලයක්‌ ලබාදිය යුතුයි. ඒත් මේ සංවාදය ඉතා කෙටි කරන්න හැකි සෑම උපක්‍රමයක්‌ම, තක්‌කඩිකමක්‌ම ආණ්‌ඩුව විසින් පාවිච්චි කරනවා. සංශෝධනයේ ඉලක්‌කය එයින්ම පැහැදිලියි. මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනාධිපති ධුරයේ වාර ගණන ගැන කිසිදු සීමාවක්‌ නැහැ. දාහත්වැනි සංශෝධනයත් අහෝසි වෙනවා. ජනපති ධුරයේ වාර ගණන සීමා නොකිරීම, දාහත්වැනි සංශෝධනය අහෝසි කිරීම යන කරුණු දෙකම එකට අරන් සාකච්ඡා කරද්දී තමයි මේ දහඅටවැනි සංශෝධනයේ භයානකකම පිළිබඳ චිත්‍රය දකින්න හැකිවන්නේ.

කිසිම දෙඩිගියාවක්‌ නොමැතිව ආරම්භයේ සිටම ජනතා විමුක්‌ති පෙරමුණ මේකට විරුද්ධ වුණා. විධායක ජනාධිපතිකම අහෝසි කළ යුතුය යන ස්‌ථාවරයේ අපි හිටියා. ජනාධිපතිවරයා රටේ නීතියට, පාර්ලිම්න්තුව උඩින් සිටිද්දී රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කරන්න බැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී තරග කරද්දී ඔහු ලවා අපි මේ රටට පොරොන්දුවක්‌ දුන්නා. ඒ විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. එදා ඒක කිසිම අඩුවක්‌ නැතිව රාජපක්‍ෂ මහත්තයා ප්‍රකාශ කළා. ඒත් අද කියනවා මම කොහෙද එහෙම පොරොන්දුවක්‌ දී තිබෙන්නේ කියා. මෙවැනි පට්‌ටපල් බොරු කියන කෙනකුට කොතරම් අපරාධ කරන්න පුළුවන්ද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනය අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැරවුම් ලක්‍ෂයක්‌ විදිහටයි. මේ නිසා රටේ නිදහස්‌ ඡන්ද පවත්වන්න ලැබෙන්නේ නැහැ. නිදහස්‌ ඡන්දයක්‌ නිර්මාණය කරන ස්‌වාධීන මැතිවරණ කොමිසම, ස්‌වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම අහෝසි වෙනවා. රජයේ සේවකයා කෙළින්ම දේශපාලනයට සම්බන්ධ කරගත හැකි වෙනවා.

මේ ජනාධිපතිවරයා යටතේ ඇමැති මණ්‌ඩලයක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉන්නේ පඹයෝ ටිකක්‌. ජනාධිපතිවරයාට ඕනෑ දේ ඔහු කරනවා. රජයේ සේවකයන්වත් ඇමැතිවරයා යටතට නොවේ ජනාධිපතිවරයා යටතට පත්කර ගන්නවා.

අද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ගැන කතා කරන්න ලබා දී තිබෙන්නේ දවස්‌ දහයකටත් වඩා අඩු කාලයක්‌. මේ සංශෝධනය ගැන රටේ ජනතාව දැනුවත් කරන්න ආණ්‌ඩුව මැදිහත් වෙන්න ගත්තු මහන්සිය මොකක්‌ද? ආණ්‌ඩුව මහන්සි වුණේ සංශෝධනය ගැන ජනතාවගෙන් සඟවන්නයි. රටේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් අතරින් බහුතරය මේ සංශෝධනයට විරුද්ධයි. ඒක සඟවන්න ආණ්‌ඩුවට බැහැ.

ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ කිසිදු සුජාතභාවයක්‌ නැහැ. සුජාතභාවය පිළිබඳ පෙන්වන්න නම් ඒ සඳහා ජනතාව සම්බන්ධ කරගත යුතයි. ක්‍රියාවලිය සුජාත නොවේ නම් සංශෝධනයත් සුජාත නැහැ.

යුද ජයග්‍රහණ සමඟ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්න, ආර්ථික සංවර්ධනය ඇති කරන්න, ජාතික සමගිය ස්‌ථාපිත කරන්න කටයුතු නොකළ ජනපතිවරයා මේ රට අස්‌ථාවර භාවයට පත්කළා. එවැනි වකවානුවක තමයි මේ සංශෝධනය ගෙන එන්නේ. අද වෙනකොට තිබෙන්නේ රටේ ජනතාවගේ අප්‍රසාදයට සහ උදහසට ලක්‌ වූ ආණ්‌ඩුවක්‌. ඒ නිසා ඉදිරියේදී සිදුවන දේ දකින ජනාධිපතිවරයා ජනතා විරෝධය මැඬපැවැත්වීමේ ආම්පන්න තමා වටා ඒකරාශි කරගන්නයි මේ සංශෝධනය කඩිමුඩියේ ගෙන එන්නේ. ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨයන් වක්‍රාකාර ලෙස මේ සංශෝධනයට විරෝධය පළ කළා. ඒ නිසා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ ක්‍රියාවලියත් එජාප නායකයා සමඟ සාකච්ඡා කරමින් සංශෝධනයට එරෙහිව මතුවන විරෝධතා ව්‍යාපාරය දියාරු කරන්නත් ජනාධිපතිවරයා සමත් වුණා.

ආණ්‌ඩුව මේ ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නේ ජනතාව විසින් ලබාදුන් තුනෙන් දෙකක බලයක්‌ මත නොවේ. මෙය බලහත්කාරයෙන්, අල්ලසෙන් හදාගත් තුනෙන් දෙකක බලයක්‌. එනිසා මේ ව්‍යවස්‌ථා සංශෝධනයට ඒ පැත්තෙන් බැලුවත් සුජාත භාවයක්‌ නැහැ.

ජනාධිපති ධුරයේ සිටිය හැකි වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කරන්න මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුප්‍රාප්තිකයෙක්‌ ජනාධිපතිකමට නැති නිසාද? ඕනෑ තරම් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා. ඒත් ඒ අයට කිසිවක්‌ කතා කරගන්න බැරිවයි ඉන්නේ.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයාට බලකරන්න මේ සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කරන්න කියලා. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගන්නා ඉතා ශ්‍රේෂ්ඨ පියවරක්‌.

ජනතා විමුක්‌ති පෙරමුණ කිසිම කොන්දේසියක්‌ නැතිව මේ සංශෝධනය පරාජය කිරීමේ උද්ඝෝෂණ සඳහා ජනතාව සංවිධානය කරනවා. රටේ ජනතාව මුලා කරන්න අපි ජනාධිපතිවරයාට ඉඩ දෙන්නේ නැහැ. අපි ජයග්‍රහණය දක්‌වාම මේ සටන ගෙන යනවා. රාජපක්‍ෂ පවුලේ බලය ස්‌ථාපිත කරන්න, ඒකාධිපති පාලනයක්‌ ගෙනයන්න උත්සාහ කරනවා නම් එය පරාජය කරන බවට අපි සහතික කරනවා. කළ හැකි උපරිමයෙන් අපි අපේ වගකීම රට වෙනුවෙන් කරනවා. මේ සංශෝධනයට එරෙහිව අපේ මන්ත්‍රී කණ්‌ඩායම පාර්ලිමේන්තුවේදී එකහෙළාම ඡන්දය දෙනවා. එම නිසා සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ද අප ඉල්ලා සිටිනවා මේ සංශෝධනයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න කියලා.

ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව විපක්‍ෂයෙන් කෙරෙන විරෝධතාවය පසුගිය කාලයේදී එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්වය විසින් දියාරු කළා මිස ශක්‌තිමත් කරන්න කටයතු කළේ නැහැ. එය එක්‌සත් ජාතික පක්‍ෂයේ සමහර නායකයන්, මන්ත්‍රීවරු වගේම පහළ මට්‌ටමේ අයත් අපට කතා කරනවා. ඉහළ නායකත්වය ගැන විශ්වාස නෑ. ඒ නිසා ඔබ පක්‍ෂය කරන දේකට අපි සහාය දෙනවා කියා ඔවුන් අපට කීවා. එක්‌සත් ජාතික පක්‍ෂයට තීන්දුවක්‌ ගන්න බැහැ. තීන්දුවක්‌ ගන්න විදිහක්‌ නෑ. යූ. එන්. පී. නායකයා ගුවන්ගත වෙලා. සමහර එජාප මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සම්මේලනයේ ඉදිරියෙන්ම අසුන්ගෙන සිටියා. එනිසා ව්‍යවස්‌ථාවට එරෙහි විරෝධතා ව්‍යාපාරයේදී අපට එජාපය සමඟ කටයුතු කරන්න බැහැ.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා - මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් සම්මත කරගත්තත් අපි ජනතාව සමඟ එක්‌ව දැවැන්ත උද්ඝෝෂණ පවත්වනවා. ඊට එරෙහිව මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආණ්‌ඩුව තුනෙන් දෙකක බලය ලබාගත්තේ යූ. එන්. පීය නිසයි. යූ. එන්. පී. නායකත්වයට අවස්‌ථාව තිබුණා මෙය නතර කරන්න. ඒත් එය වළක්‌වන්න යූ. එන්. පී. නායකයා ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?

මේ ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගත්තත් එය සදාචාර විරෝධී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ද මෙම අවස්‌ථාවට සහභාගි විය. (Divaina)

හැකිනම් එජාපයේ සියලු දෙනාම එක ස්‌ථාවරයක තබා ගන්න - ටිල්වින් සිල්වා එජාපයට අභියෝග කරයි

අලියා ලකුණ යටතේ පසුගිය මැතිවරණයට තරග කර තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හැකිනම් ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ලබාදෙන්නැයි එක්‌සත් ජාතික පක්‌ෂයට අභියෝග කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (03 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසුවේය.


දහඅට වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම 08 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්‌ථාවේ "අලියා" යටතේ තරග කළ සමස්‌ත මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළොත් ආණ්‌ඩුව පරාජයට පත්වන බවද ටිල්වින් සිල්වා මහතා කීය.

යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව මාධ්‍ය සාකච්ඡා කිහිපයක්‌ හැරෙන්නට එක්‌සත් ජාතික පක්‌ෂය කිසිදු වැඩ කොටසක්‌ මෙතෙක්‌ සිදුකර නැතැයි කී ටිල්වින් සිල්වා මහතා මෙවැනි තත්ත්වයක්‌ තුළදී ව්‍යවස්‌ථාවට එරෙහිව එජාපය සමග ඒකාබද්ධ වී කටයුතු කළ නොහැකි බවද එසේ කළොත් ජවිපෙ විසින් සිදු කරමින් සිටිනු ලබන වැඩපිළිවෙළටද බාධා එල්ල වන බව ප්‍රකාශ කළේය.

කිලෝ 43 ක්‌ බැරැති කාලතුවක්‌කු උණ්‌ඩයක්‌ සමග සැකකරුවකු අල්ලයි

අතුරුගිරිය ගල්වලවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් අනාවරණය කරගත් කරුණු ඔස්‌සේ කිලෝග්‍රෑම් 43 ක්‌ බරැති කාලතුවක්‌කු උණ්‌ඩයක්‌ ඊයේ (3 වැනිදා) කොට්‌ටාව පොලිස්‌ වසමට අයත් හබන්හේනවත්තේ ගල්වළක තිබියදී සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.


මෙම කාලතුවක්‌කු උණ්‌ඩය තමා එම ගල්වළේ තිබී දැක පසුව එය ගෙන අතුරුගිරිය වල්ගම ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට අලෙවි කිරීමට රැගෙන ගිය බවත් එය එම වෙළෙඳසල් හිමියා ප්‍රතික්‍ෂේප කිරීම නිසා නැවතත් ගල්වළටම රැගෙනවිත් දැමූ බවත් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

දැනට පොලිසිය කර ඇති විමර්ශනවලට අනුව එම කාලතුවක්‌කු උණ්‌ඩය මෙරට ආරක්‍ෂක අංශ පරිහරණය කරනු ලැබූ උණ්‌ඩයක්‌ බවත් එම කාලතුවක්‌කු උණ්‌ඩය වසර විස්‌සක්‌ පැරැණි උණ්‌ඩයක්‌ බවත් හෙළිවී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුගේ ප්‍රකාශ සත්‍යද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
මෙම කාලතුවක්‌කු උණ්‌ඩය ගල්වළට ආවේ කෙසේද? එය රැගෙන ආවේ කව්ද කිසිවකු යම් අපරාධයකට මෙම උණ්‌ඩය ගල්වළට දැමුවේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරයි.
ගල්වළේ තිබූ කාලතුවක්‌කු උණ්‌ඩය බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ගොඩට ගත් බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල් රංජිත් (320) ඇතුළු බලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. (Divaina)

අපි කරු ගිය පාරේ යනවා - අර්ල් - සෙනෙවි සහ මනුෂගෙන් ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය

පාර්ලිමේන්තුවේදී ලබන 08 වැනිදා සම්මත කර ගැනීමට නියමිත නව ව්‍යවස්‌ථා සංශෝධනයට සහයෝගය ලබාදිය යුතුය යන මතයේ තමන් සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර සහ මනුෂ නානායක්‌කාර යන මහත්වරු පවසති.


මේ සම්බන්ධව අනිද්දා (6) පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කරන බව පැවසූ මන්ත්‍රීවරු දෙදෙනා කෙසේ වෙතත් තමුන් එජාපය අත්හැර නොයන බවද සඳහන් කළහ. ඔවුන් මෙම අදහස්‌ පැවසුවේ අර්ල් ගුණසේකර මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ (3) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මීළඟ පළාත් පාලන මැතිවරණයේදීවත් ප්‍රමාණවත් කාන්තා නියෝජනයක්‌ සහතික කරමු - නීතිඥ නිලානි මන්ත්‍රීනායක

ළඟ එන පළාත් පාලන මැතිවරණයේදී ගුණාත්මක හා ප්‍රමාණාත්මක කාන්තා නියෝජනයක්‌ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන ලෙස පක්‍ෂ භේදයෙන් තොරව ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ වලින් තමා ඉල්ලා සිටින බව මව් ගුණයෙන් යුතු යහපාලනයක්‌ උදෙසා වන ව්‍යාපෘතියේ කළමනාකාරිණී නීතිඥ නිලානි මන්ත්‍රීනායක මහත්මිය පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම නීතිඥ මහත්මිය විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 53% ක්‌ වන කාන්තාවන්ගෙන් අති බහුතරය, වෙනස්‌කම්වලට ලක්‌වූවන් වනවාට අමතරව පවතින දේශපාලන සංස්‌කෘතියෙන් පිටමං කෙරුණු ජන කොටසක්‌ බව අපි උදක්‌ ම විශ්වාස කරමු. 1948 න් පසු විවිධ දේශපාලන පක්‍ෂ වරින් වර බලයට පැමිණියත් දේශපාලනයේ දී ක්‍රියාත්මක විය යුතු කාන්තා නියෝජනය ගැන ඔවුහු දැක්‌වූයේ අල්ප උනන්දුවකි. මෙය හුදු පුරුෂාධිපත්‍යයික ක්‍රියාවලියකට වඩා එහා ගිය දැනුවත් දේශපාලන තීරණයක්‌ බව අපි විශ්වාස කරන්නෙමු. (Divaina)

රජය ගෙනයන ඒකාධිපති වියරුව නතර කිරීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලූ බලවේගයන් එක්‌විය යුතුයි - මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම

රජය ගෙනයනු ලබන ඒකාධිපති වියරුව නතර කර දැමීමට පක්‍ෂ බේදයෙන් තොරව සියලුම ප්‍රගතිශීලී බලවේගයන් එක්‌විය යුතු බව කළුතර දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.


රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරීමෙන් පසු ජනතාව විසින් මතුගම නගරයේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්‌වෙමින් හෙතෙම මේ බව කීය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තෙවරප්පෙරුම මහතා මෙසේද කියා සිටියේය.

ඔප්පු කරන්න බැරි චෝදනා එල්ල කර රිමාන්ඩ් කරපු මාව අධිකරණය මගින් අද (20 වැනිදා) ඇපමත මුදාහැරියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ විදියට රිමාන්ඩ් එකට ගිය මම එළියට ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ විදියටයි. ජනතාව මගේ නියම ඇපකරුවන් ලෙස ඉදිරිපත් වෙලා හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්‌ කළා. මාස 8 කට අධික කාලයක්‌ මාව රිමාන්ඩ් කරල පුළුවන් තරම් වද වේදනාදීලා ආණ්‌ඩුව පැත්තට නම්මගන්න උත්සහ කළා. ආත්මයක්‌ නැති බඩගොස්‌තර වාදීන් අපේ ඡන්දයෙන් ගිහින් ආණ්‌ඩුවට එකතු වුණා. මේ පාලිත තෙවරප්පෙරුම ජීවිතය තිබෙන තුරු එක්‌සත් ජාතික පක්‍ෂය හැරයන්නේ නැති බව මම හිරෙන් ඇවිත් අද කියනවා.

හිරේ හිටපු මාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ කළ ජනතාවට මම නැවත වතාවක්‌ ස්‌තූතිය පළකරනවා. (Divaina)

විපක්‍ෂය කියන තරම් කිසිම භයානක කමක්‌ ව්‍යවස්‌ථා සංශෝධනයේ නෑ - ජනාධිපති

ආණ්‌ඩුව ඉදිරිපත් කර ඇති ව්‍යවස්‌ථා සංශෝධනයෙහි විපක්‍ෂය කියන ආකාරයේ කිසිම භයානක කමක්‌ නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපති ධුර කාලය දික්‌කර ගැනීමට මෙම සංශෝධන මගින් සිදුවන බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම බොරුවක්‌ යෑයි ද මේ තුළින් සිදුවන්නේ ජනාධිපතිවරයා නැවත පත් කරගැනීමට ජනතාවට තීන්දු කිරීමට අවස්‌ථාව ලබාදීම යෑයි ද ඊයේ (02) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 59 වැනි සමුළුව අමතමින් පැවසීය.


17 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවෙන් පිටත තිබූ ව්‍යවස්‌ථාදායක සභාව නැවත පාර්ලිමේන්තුවට ගැනීම නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවත් කී ජනාධිපතිවරයා මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ ජාතීන්ට ද සාමාජිකයන් නම් කිරීමේ අවස්‌ථාව හිමිවන බවද කීය.

බෙදී වෙන්වී තිබූ රට දැන් එක්‌සේසත් කර ඇතැයි ද දැන් තිබෙන්නේ රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යැමට බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විපක්‍ෂය ගෙන යන බොරු මතවාදවලට ගම තුළ ඉඩ නොතබන ලෙස ද නිවැරදි දේ ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පක්‍ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය. (Divaina)

ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහි වන්නැයි ජවිපෙ ආණ්‌ඩුවේ මන්ත්‍රීගෙන් ඉල්ලයි

ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා නොදෙන්නැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (02 දා) ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී "අත්පත්‍රිකා" බෙදා හැරීමේ වැඩසටහනට සහභාගිවූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිම කෙනෙක්‌ මේ ව්‍යවස්‌ථා සංශෝධනයට කැමති වන්නේ නැහැ. මේ සංශෝධනයෙන් හානි වන්නේ පෞද්ගලිකවම ජනතා විමුක්‌ති පෙරමුණට නොවේ මුළු රටටමයි. රටේ ජනතාවටයි. ඒ නිසායි අප ඉල්ලා සිටින්නේ මේ තක්‌කඩි ක්‍රියාවට හවුල් වන්න එපා කියලා. මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක බලයෙන් සම්මත වුණොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ටත් බලපානවා. කිසිම දිනක ඒ පක්‍ෂයේ වෙනත් කෙනෙකුට රටේ ජනාධිපති තනතුරට පත්වන්න ලැබෙන්නේ නැහැ. දිගටම මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති තනතුර දරාවි.(Divaina)

සෞදියේ ඇණ රෝහලට දී ආරියවතී ගෙදර යයි

සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස්‌ කෲර වධහිංසාවලට ලක්‌ව ශ්‍රී ලංකාවට පැමිණි තිහගොඩ බටුවිට උඩදෙණියේ පදිංචි එල්. පී. ආරියතී මහත්මියගේ සිරුරේ තිබූ යකඩ ඇණ ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා ඊයේ (2 දා) ප.ව. 1.35 ට පමණ රෝහලෙන් පිටව ගියාය. පසුගිය 23 දා උදැසන ආබාධිත තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළ ආරියවතී මහත්මියට දින 11 ක්‌ වැනි කෙටි කලකදී සුවය ලබා යළි නිවසට ඉක්‌මනින් යැමට හැකිවීම සතුටුදායක තත්ත්වයකි.


රෝහලෙන් පිටව යැමට පෙර දිවයිනට අදහස්‌ දැක්‌වූ එල්. පී. ආරියවතී මහත්මිය මෙසේ පැවසුවාය. මම 23 දා රෝහලට ආවේ ඉතාමත් අමාරු තත්ත්වයෙන්. මා පරීක්‍ෂා කළ දොස්‌තර මහතා ඉතා කාරුණිකව මට සැලකුවා. ඒ වගේම අනෙක්‌ දොස්‌තර මහත්තුරුත්, නර්ස්‌ නෝනලත්, අනෙක්‌ අයත් ඉතාමත් හොඳින් සැලකුවා. අසරණ වී සිටි මට ඒ අය දෙවියෝ වගේ සැලකුවා. මට උදව් උපකාර කළා. ඒ නිසා තමයි මට මෙතරම් ඉක්‌මනට සනීප වී ගෙදර යන්න පුළුවන් වුණේ.

මම පුරා මාස 5 ක්‌ තනි කරම හිටියේ අපායක. ඒ අපායෙන් මිදිල ලංකාවට ආවත් මට තුවාල වූ ඒවායේ අමාරු තිබුණා. දැන් ඒ ඇණ ඉවත් කරල තුවාලත් සෑහෙන්න හොඳවෙලා. ඒ නිසා මට දැන් හරිම සතුටුයි ගෙදර යන්න ලැබීම ගැන. ඒත් මට සලකපු ඉස්‌පිරිතාලේ දොස්‌තර මහත්තුරු අනිත් අය දාල යන්න වීම ගැන පොඩි කනගාටුවක්‌ තියෙනවා.

කඹුරුපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය කීර්ති කුමාර සතරසිංහ මහතා ආරියවතීගේ ශල්‍යකර්මයේදී කැපුම් 15 ක්‌ සිදුකර ඇණ සහ ඉදිකටු වැනි කම්බි කැබලි 19 ක්‌ ඉවත් කළා. ඇගේ තුවාල දැන් සෑහෙන සුව අතට පත්ව තියෙනවා. ඇගේ මානසික මට්‌ටමත් හොඳ තත්ත්වයක තියෙනවා. දැන් ඇයට නිවසට ගොස්‌ සාමාන්‍ය තත්ත්වයෙන් තනිව වැඩ කටයුතු කරන්න පුළුවන්.

කඹුරුපිටිය මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කමල් වීරතුංග මහතා, ආරියවතී අද රෝහලෙන් නිවසට පිටත්කර යෑව්වත් ලබන සඳුදා (6 දා) නැවත රෝහලට ගෙන්වා ගෙන පරීක්‍ෂා කරනවා. ඇයගේ තුවාල වැඩි ප්‍රමාණයක්‌ සනීප වී තිබුණා. තවම සනීප නොවූ තුවාල වලට මැහුම් දමා නැහැ. ඊළඟට රෝහලට පැමිණි විට පරීක්‍ෂා කර බලා අවශ්‍ය නම් මැහුම් දැමීමට කටයුතු කරනවා.

ආරියවතී මහත්මිය රෝහලෙන් පිටව යන අවස්‌ථාවේදී ඇය බැලීමට විශාල පිරිසක්‌ රෝහලට පැමිණ සිටියහ. (Divaina)

ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විවාදය හා ඡන්ද විමසීම 8 වැනිදා

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 7 වැනිදා මැතිසබයට

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මෙම 08 වැනිදා පමණක්‌ පවත්වා එදිනට ඡන්දය විමසීමට ඊයේ (02 දා) සවස පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී තීරණය කර ඇත.


ඒ අනුව 08 වැනිදා (බදාදා) පෙරවරු 9.30 සිට රාත්‍රි 7.00 දක්‌වා ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම පැවැත්වේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව 07 වැනිදා පෙරවරුවේ කතානායක චමල් රාජපක්‌ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව 08 වැනිදා විවාද කර 09 වැනිදා ඡන්දය විමසීමට මින් පෙර තීරණය කර තිබුණද විවාදය හා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්විය යුතු බවට පක්‌ෂ නායක රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂය ප්‍රකාශ කර ඇත.

දින දෙකකදී නොපවත්වා කාලය දීර්ඝ කර එකම දිනයකදී විවාදය හා ඡන්ද විමසීම සිදුකළ යුතු බව ආණ්‌ඩුව මෙහිදී යෝජනා කර ඇත.

ඒ අනුව 08 වැනිදා ව්‍යවස්‌ථා සංශෝධන විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන අතර 07 වැනිදා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වා හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවත්, 09 වැනිදා පස්‌වරු 1.00 සිට 7.00 දක්‌වා රජයේ පනත් කෙටුම්පතත් විවාදයට ගැනීමටත් යෝජනා වී ඇත. (Divaina)

සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ , ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි මේ ධර්ම දෙක අතරින් අග්‍රවන්නේ ධර්ම දානයයි. “සියලුම දන් පරදවා ධර්ම දානය දිනයි” කියා උන්වහන්සේ වදාළා.


දානය කියන වචනයෙන් තමයි ධර්මය ගැනත් දේශනා කරලා තිබෙන්නේ. ධර්ම දානය දිමේදී, දානයක් බවට ධර්මය පත්කිරීමේ දී, ධර්මය දන් දීමේදී අපට වැදගත් වන්නේ මේ ධර්ම දානය දෙන්නේ කොහොමද කියන එකයි. ධර්ම දානයේදී පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයම දිය යුතුයි. උන් වහන්සේ දේශනා කළා ධර්ම දානය අග්‍රයි කියලා. එනිසා යම් කෙනෙක් අග්‍ර වූ දෙයක් හැටියට මේ ධර්ම දානය දෙන්න දක්ෂ වුණොත් එය ඔහු ලෝකයාට කරන විශාල යහපතක් . එවිට ලෝකයා කුසල් අකුසල් හඳුනාගන්නවා. පින - පව හඳුනාගන්නවා. මෙලොව පරලොව හඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මය, අසත්පුරුෂ ධර්මය හඳුනා ගන්නවා. සසර නිවන හඳුනා ගන්නවා. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේ නොසිතු නොපැතූ යම් කිසි විස්මිත ඤාණයක් ධර්ම දානය තුළින් ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි, ගිහි පිරිස භික්ෂූන් උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානෝපත්‍ය කියන සිවුපසයෙන් උපස්ථාන කරන නිසා ඔවුන්ට පෙරළා උපකාරයක් ලෙස ධර්ම දානය කරන්න කියලා. ඒ වගේම උන්වහන්සේ වදාළා මුල, මැද, අග පිරිසිදු වූ අර්ථ සහිත පැහැදිලි වචනවලින් යුතු පැහැදිලි කරුණුවලින් යුතු ඒ ධර්මය මේ ලෝකයාට දේශනා කරන්න . මේ ධර්මය අවබෝධ කරන පිරිස ඉන්නවා කියලා. එයින් අපට පේනවා ධර්ම දානය කෙතරම් වටිනාකමක් තිබෙනවාද කියලා.


ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා “ ආනන්ද ඔබ යම්කිසි කෙනකුට කරුණාවන්ත දයාවන්ත නම් අනුකම්පා කරනවා නම් ඔබේ වචනය ඒ අය අහනවා කියලා. එවිට ඒ කෙනාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි පහදවන්න කියලා. එය තමයි ඔවුන්ට කරන්න පුලුවන් යහපත්ම දේ. එයින් අපට පැහැදිලියි ධර්ම දානය පිණිස තමයි නිතර රහතන් වහන්සේලා වෙහෙසුනේ. පළමු ධර්ම සංගායනාව , දෙවැනි ධර්ම සංගායනාව , තුන්වැනි ධර්ම සංගායනාව මගින් කළේ ධර්මය විකෘති නොවී නිර්මල ලෙස ආරක්‍ෂා කිරීමයි.

ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල පිරිසිදු ධර්මය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන වැඩියේ. එය තමයි ලංකාවෙ සංගායනා කරල ආරක්ෂා කළේ. ඉතින් එලෙස ලැබුණ ඒ නිර්මල ධර්මය වර්තමානයේදී කෙනකුට දානය කරන්න පුළුවන්නම් එය උතුම් වූ දානයයි. වර්තමානයේ අපට පේනවා නොයෙක් ආකාරයෙන් ධර්මය දානය කරන අවස්ථා. දහම් සංයුක්ත තැටියක් නැත්නම් කැසට් පටියක් විකාශය කරලා සියලුම දෙනාට අහන්න සලස්වනවා. සමහර පිරිස් ධර්ම දානය සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවලා අනෙක් අයට ධර්මය අසන්න උනන්දු කරවනවා. ඒ සියලුම දේවල් ධර්මයට කරන උපකාරයක්. ඒ වගේම දහම් පොතක් මිලට අරගෙන ඒ දහම් පොත නොමිලේ අනෙක් අය උදෙසා බෙදා දෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල තිබෙන යම් යම් කොටස් අරගෙන ඒවා මුද්‍රණය කරලා නැවත බෙදා හරිනවා. ඒ සියලුම දේවල් අග්‍රම දානය වන ධර්ම දානයට අයිතියි. මේ සියලුම ආකාරයට ධර්ම දානය කළ හැකියි. නමුත් මේ සියලුම දේ මගින් ඔබ කළ යුත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමයි. ඔබ අධර්මය ප්‍රචාරය කළොත් එයින් සිදුවන්නේ පිනක් නොවේ. එනිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේම ධර්මය ප්‍රචාරය කරන්න ඔබ උනන්දු විය යුතුයි.අපට පේනවා හුදෙක් ජනපි‍්‍රයත්වය උදෙසා අපහාසය මිනිසුන්ට දෙනවා. විකට දේශනා දන් දෙනවා.

ලෝකයම හිනස්සවන කරුණු කියන එක ධර්ම දානය නොවේ. ඔබ එය හොඳින් තේරුම් ගත යුතුයි. අනුන්ට ගරහන එක, ඕපාදූප කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති නැහැ. උන්වහන්සේගේ පිරිසිදු දහම තුළ තිබෙන්නේ දුක් විඳින සත්ත්වයා ඒ දුකෙන් එතෙර කරවන වැඩ පිළිවෙළක්. ඒ තුළින් තමයි මිනිසුන්ගේ වසා තිබෙන ප්‍රඥාව අවදි වන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ. එයින් ඔවුන්ට බොහෝ යහපතක් සිදුවෙනවා. මිථ්‍යා වාචා දන්නෙත් නැතිව සම්මා වාචා දන්නෙත් නැතුව ඔබ වියදම් කර කර මිථ්‍යා වාචා දන් දෙනවානම් ඒක කුසලයක් නොවේ අකුසලයක් මයි. එනිසා මේනිසා කුසලයක් වෙත්නම් සම්මාවාචා දන්දෙන්න ඕන.

උත්තර කියන මහරහතන් වහන්සේ සක් දෙවිඳුන්ට එක්තරා අවස්ථාවක දේශනා කරනවා අපට මේ ලෝකයෙන් පැනයන්න බැරි කරුණු ගැන. එහිදී සඳහන් වෙනවා අපට කවදාවත් මරණයෙන් පැන යන්න බැහැ. වයසට යාමෙන් පැනයන්න බැහැ. රෝග පීඩාදියෙන් , අනිත්‍ය බවට පත්වීමෙන්, කර්ම විපාකයෙන්, පැනයන්න බැහැ කියනවා. එවිට සක්දෙවිඳුන් උත්තර මහරහතන් වහන්සේගෙන් අසනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ කරුණු දේශනා කළේ ඔබ වහන්සේම සොයාගෙන ද? නැත්නම් මේවා වෙන කාගෙවත්ද කියලා. එතකොට රහතන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද . ඒ සියල්ලම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ කියලා. එය උපමාවකින් කියනවා යම් තැනක ධාන්‍ය ගොඩක් තිබෙනවා. එක එක්කෙනා ඒ ධාන්‍ය ගොඩෙන් ධාන්‍ය ලබාගන්න තම තමාට සරිලන භාජන අරගෙන එනවා. ඇවිත් භාජන පුරවාගෙන යනවා. එය දකින සමහර අය අහනවා. ඔබ කොහෙන්ද මේ ධාන්‍ය අරගෙන එන්නේ කියලා. අර අතන ධාන්‍ය ගොඩක් තිබෙනවා. ඒ ධාන්‍ය ගොඩෙනුයි මම මේවා අරගෙන එන්නේ කියලා කියනවා. ඒ වගේ අපිත් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උපයෝගී කොටගෙන තමයි මේ කථාකරන්නේ කියලා.එහෙයින් අපට පැහැදිලියි ඒ බුද්ධ දේශනා තමයි අපට උපුටා දක්වමින් කතාකරන්න තියෙන්නේ.

ඉතින් මෑත භාගයේදී අපි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා ගනිමින් “ මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි “ කියන හඬ ඉස්මතු කරන්න ලොකු වෙහෙසක් දැරුවා . ඒ වගේම ගෞතම බුදු සසුන කියන්නේ වඳ බැහැපු පිළිසරණක් රහිත එකක් නොවේ. ඒ ශාසනය තුළ විශාල රැකවරණයක් පිළිසරණක් තිබෙනවා. මෙලොව ජීවිත සුවපත් වන්නේත් පරලොව ජීවිත සුගතිය කරා යන්නේත් මේ ශාසනය තුළ හික්මෙන පුද්ගලයා පමණයි. ගෞතම ශාසනය තුළ ආර්ය සත්‍ය හතරක් තිබෙනවා. මිනිසාගේ සැඟවුණූ ප්‍රඥාව වැඩෙන්නේ ඒ ආර්ය සත්‍ය හතර තුළින්. එනිසා ඒ ආර්ය සත්‍ය නිතර නිතර මිනිසුන්ට කියා දිය යුතුයි. ඔවුන් ඒ කෙරෙහි සමාදන් කළ යුතුයි. ඒ සඳහා තමයි අපට ධර්ම දානය තිබෙන්නේ.

අද ලෝකයේ මාධ්‍ය බොහෝ ව්‍යාප්තයි. ක්ෂණයකින් එක කරුණක් මුළු ලෝකයාටම දිය හැකියි. ඒනිසා ඔබට ඒ නිර්මල ධර්ම දානය දෙන්න ඉතාමත් ලෙහෙසියි. ඔබ යම් ධර්ම දානයක් දෙනවානම් එය හැම දෙනාගේම හිතසුව පිණිස පවතිනවා. එයින් යම් කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එය විශාල පිනක්. එය විශාල වාසියක් ද වෙනවා. නමුත් ඒ සඳහා ධර්ම දානය දෙන පුද්ගලයා මනා ලෙස ඒ නිර්මල දහම කෙරෙහි ගෞරවයක් ඇතිව විශාල පැහැදීමකට පැමිණිය යුතුයි. එහෙම නැතිව ධර්ම දානය ලෙස අධර්මය දන්දෙන අවස්ථා අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම තර්කානුකූලව තිබෙන අවුල් සහගත ප්‍රකාශත් බුද්ධ වචනයෙන් බැහැර වූ දේත් ධර්ම දානය හැටියට දෙන අවස්ථා තිබෙනවා. ඒවාටත් බොහෝ දෙනෙක් රැවටෙනවා. තමාගේ අදහසට ගැලපුන පමණින්, තමන්ගේ මතයට ගැලපුන පමණින්, තමන් කැමැති පුද්ගලයා කියු පමණින්, ඊට එකඟවෙලා දානය ලෙස දුන්නා කියලා. එය ධර්ම දානයක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම ධර්ම දානය සඳහා දීමට ඔබ උත්සහ ගත යුතුයි. එනිසා ඔබ ඔබට හැකි අයුරින් ධර්ම දානය කරන්න ලෝභ, ද්වේෂ, මෝහය ප්‍රහාණය කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයම දන් දෙන්න. ඒ සදහා අද ඔබට ඕනෑතරම් පහසුකම් ක්‍රම විධි තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම ප්‍රචාරය කිරීමට අන් අයගේ සුබ සිද්ධිය පිණිස, ඒ අය කෙරෙහි කරුණා සිතින් යුක්තව ධර්ම දානය කරන්න.

එවිට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන් පරිදි දාන අතර අග්‍ර දානය දුන් පිරිස අතරට ඔබත් පත්වේවි. ඒ සියල්ල ඔබට නිතර නිතර මෙනෙහි කර සතුටු විය හැකියි. එය ඔබගේ මරණාසන්න මොහොතේදී ද සතුටු විය හැකි කාරණයක් වනවා නො අනුමානයි. (Budu Sarana)

විහාරස්ථාන 1300 කට ජල පහසුව දෙවන පියවර පාසල්වලට

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ලැබෙන ඉල්ලීම් අනුව දුර්වල විහාරස්ථාන 1300 කට රුපියල් ලක්‍ෂ 140 ක වියදමින් නානකාමර, වැසිකිළි, කැසිකිළි, ජලපහසුව සකස් කිරීමට කොළඹ 2, ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානය මූලිකත්වය ගනී.

සැප්තැම්බර් මස අග කතරගම කිරිවෙහෙර අබියස සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පවත්වා පසුදා උදේ ගරුතර මහා සංඝරත්නය 1300 නමකට දානය පිරිනැමීමෙන් අනතුරුව එම ආධාරය පිරිනැමේ.

ගමේ දායක, දායිකාවන් ඒකරාශී කරගෙන එම කටයුත්ත සාර්ථකව සිදුකරන විහාරස්ථාන මුල්කරගෙන ගමේ පන්සලේ ද එවැනි පහසුකම් ඇතිකිරීම සඳහා ආධාර පිරිනැමීමට එම සංවිධානය බලාපොරොත්තු වේ.

විහාරස්ථාන 1000 ක් සඳහා ආධාර තායිලන්තයෙන් ලැබෙන අතර මේ වනවිට ගංගාරාමයේ දායක දායිකාවන්ගෙන් විහාරස්ථාන 300 ක් සඳහා ආධාර ලැබී ඇත. ඇසෝෂියේටඩ් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ සභාපති අජිත් ද සොයිසා මහතා සහ එම මහත්මිය හා දරුපිරිස විසින් බලපිටිය ප්‍රදේශයේ පන්සල් සියයක් සඳහා ද, හැව්ලොක්ටවුමේ සුනිල් මෝටර්ස් අධිපති සුනිල් මහතා සහ මහත්මිය විසින් මාතර තිහගොඩ ප්‍රදේශයේ පන්සල් සඳහාද, ඇල්.එච්. පියසේන මහතා සහ දරුපිරිස විසින් හක්මන, නරවැල්පිට ප්‍රදේශයේ පන්සල් සඳහා ද, නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මහතා විසින් හම්බන්තොට සහ මැදමුලන ප්‍රදේශයේ පන්සල් සඳහාද ,ඩබ්ලිව්. ඩී. ප්‍රනාන්දු මහතාගේ සහ භද්‍රාවතී ප්‍රනාන්දු මහත්මියගේ දරුපිරිස විසින් අම්බලන්ගොඩ සහ අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේ පන්සල් සඳහා ද, නිහාල් කරුණාරත්න මහතා විසින් කුරුණෑගල සහ ගම්පහ ප්‍රදේශයේ පන්සල් සඳහා ද, ආසිරි වික්‍රමසිංහ මහතා විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පන්සල් සඳහා ද ආධාර කෙරේ.

මේ සඳහා උපකාරවීමට, ආධාර දීමට කැමති ශ්‍රද්ධාවතුන්ට කොළඹ 02, ශ්‍රී ජිනරතන පාරේ, ගංගාරාම විහාරස්ථානයෙන් තොරතුරු විස්තර ලබාගත හැකි බවද කියයි. කොටස් වශයෙන් ලංකාව පුරා ඇති විහාරස්ථාන වෙනුවෙන් එම සත්කාර්යය සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරේ.

අධ්‍යාපන ඇමැතිතුමා ද සහභාගි කරවාගෙන දුර්වල ගම්වල පාසල් වෙනුවෙන් ද පන්සල් මුල්කරගෙන වැසිකිළි ජලපහසුව සකස් කිරීමට සංවිධානය බලාපොරොත්තු වේ. ගංගාරාම විහාරය, 61, ශ්‍රී ජිනරතන පාර, කොළඹ 02 එහි ලිපිනය වන අතර දුරකථනය, 2327084, 2435169, අංක වේ (Budu Sarana)

කාන්තාවන් ස්‌කෑන් පරීක්‌ෂණවලට භාජනය වීමේ වැදගත්කම දන්නවාද?

මෙවර අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කාන්තාවන්ටම සුවිශේෂි වූ ශරීර අභ්‍යන්තරයේ කරනු ලබන යෝනි මාර්ගයේ ස්‌කෑන් පරීක්‌ෂණය පිළිබඳවයි.


මෙම පරීක්‌ෂණයට සුදුසු වන්නේ ලිංගික සංසර්ගයේ යෙදුන කාන්තාවන් සහ විවාහක කාන්තාවන් යන දෙපිරිසයි. මෙහිදී සුළු උපකරණයක්‌ යෝනි මාර්ගය තුළින් ඇතුලු කර ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපිය නාල ඝ්‍රොaණියේ අනෙක්‌ අවයවවලට ඉතා කිට්‌ටුවෙන් ස්‌කෑන් පරීක්‌ෂාව සිදු කරනු ලබනවා. බඩ මතුපිටින් කරනු ලබන ස්‌කෑන් පරික්‌ෂාවන්ට වඩා මෙවන් ස්‌කෑන් පරීක්‌ෂණයකින් ගර්භාෂය, ඩිම්බකෝෂ, පැලෝපීය නාල සහ ඝ්‍රොණියේ අනෙක්‌ අවයව පිළිබඳ පැහැදිලි රූපයන් සහ හොඳ වැටහීමක්‌ මේ මගින් ලබාගත හැකියි. මෙය ඉතා වාසි සහගතයි. මෙම ස්‌කෑන් පරීක්‌ෂණය ගර්භනී අවස්‌ථාවේ මුල් කාලවලදී ඉතා වැදගත් වෙනවා.

ගර්භනී අවධියේ සති අටට පෙර ගර්භනී තත්ත්වය සොයා ගැනීම සඳහා සහ බොහෝ කාන්තා රෝග හඳුනාගැනීම සඳහා මෙවැනි ස්‌කෑන් පරීක්‌ෂාවන් අවශ්‍ය වෙනවා. මඳසරුභාවය ඇති දරුවන් නොලබන කාන්තාවන් සඳහා, නිතර නිතර මුත්‍රාශයෙන් මුත්‍ර පහවීම පිළිබඳ ප්‍රශ්න තිබෙන කාන්තාවන් සඳහාත් මෙම ස්‌කෑන් පරීක්‌ෂණවලට යොමුවීම ඉතාම සුදුසුයි.

ගර්භනී තත්ත්වයේදී සති පහකට පසුව මෙවන් ස්‌කෑන් පරීක්‌ෂණ මගින් ගර්භනී තත්ත්වයේ ඇතිවන දෝෂ ඉතාම මූලික අවස්‌ථාවේදී හඳුනාගන්න පුළුවනි. සති හය, හත, අට වනවිට ඇති වන කලලය යෝනි මාර්ගය හරහා කරන ස්‌කෑන් පරීක්‌ෂාවේදී හොඳින් බලා ගැනීමට පුළුවනි.

කාන්තා රෝග ලෙස හඳුන්වන පැලෝපීය නාලයේ ගර්භනී තත්ත්වය ගත්විට ඒවා ද මෙවන් ස්‌කෑන් පරීක්‌ෂණ හරහා සොයා ගන්නට පුළුවනි. මෙවන් අවස්‌ථාවල ගර්භාෂය තුළ ගර්භනිභාවයේ කිසිඳු ලක්‌ෂණයක්‌ නොපෙන්වා පැලෝපිය නාලවල අධික ලේ වහනයක්‌ හෝ එය අවට ගෙඩියක ස්‌වරූපයක්‌ ගැනීමෙන් පැලෝපිය නාලයේ ගර්භනී තත්ත්වයක්‌ ඇතැයි සැක කරන්නට පුළුවනි. ඒත් එක්‌කම මඳසරු භාවය ඇති කාන්තාවගේ ගර්භාෂයේ විවිධ විෂමතාවයන්, ගෙඩි වර්ග, ඩිම්බ කෝෂයේ ඩිම්බ මේරිම හෙවත් ඕවේරියන් පොලිකල් ඩිවලොප්මන්ට්‌ ලෙස හඳුන්වන තත්ත්වයන් පවා මෙම ස්‌කෑන් පරීක්‌ෂණය හරහා පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වෙනවා. මඳසරුභාවය සඳහා කරනු ලබන ප්‍රතිකාරවලදී විශේෂයෙන් ඩිම්බ නිෂ්පාදනය වන ආකාරය අනුව ශුක්‍රාණු තැන්පත් කිරීම, නලදරු උපත් සඳහා ඩිම්බ ලබාගැනීමටත් මෙවන් පරීක්‌ෂණයන් උපයෝගී කර ගැනීමේ හැකියාව තියෙනවා.

යම්කිසි කාන්තාවකට අධිකව රුධිර වහනයක්‌ වෙනවා නම් ඇයට ෆයිබ්‍රොයිඩ වැනි ගෙඩි, මස්‌වැදලි තිබේදැයි හඳුනා ගැනීමටත් මෙවන් ස්‌කෑන් පරීක්‌ෂාවන් ඉවහල් වෙනවා.

ඒ වාගේම කිවිසුම් යනවිට, සිනහසෙනවිට, පඩිපෙළක්‌ නගිනවිට මුත්‍ර පහවන කාන්තාවන්ට මෙන්ම මුත්‍රාපහවීම නිසි පරිදි සිදු නොවන කාන්තාවන්ට මෙවැනි ස්‌කෑන් පරීක්‌ෂාවකට යොමුවීමෙන් මුත්‍රාශයේ අභ්‍යන්තරය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගන්නට පුළුවනි. ඒ වගේම අනෙක්‌ කාන්තා අවයවවල විෂමතාවයන්ද හඳුනාගැනීමට මෙම පරීක්‌ෂණය හරහා හැකි වෙනවා.

මුලින්ම මෙවන් ස්‌කෑන් පරීක්‌ෂණ හඳුන්වාදීමේදී කාන්තාවන් බියක්‌ ඇති කරගත්ත ද අද කාන්තාවන් බොහෝ දෙනෙක්‌ තමන්ගේ රෝග හඳුනා ගන්න ස්‌කෑන් පරීක්‌ෂණවලට යොමුවීමක්‌ කරනවා. මෙම ස්‌කෑන් පරීක්‌ෂණවල කිසිදු වේදනාවක්‌ ඇති නොවේ. මේවායේදී නිසි සෞඛ්‍ය සංරක්‌ෂණ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් ලෙඩ රෝග බෝවේයෑයි බියවීමට හේතුවක්‌ නැහැ. බොහෝ කාන්තා රෝගවලට ස්‌කෑන් පරීක්‌ෂණ හරහා හෙළිවන දේ ප්‍රතිකාරවලට යොමුවීම පහසු වෙනවා.(News- Nawaliya)