Action with a heart -sinhala

Sunday, September 5, 2010

ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එජාපයෙන් මන්ත්‍රීවරු හයක්‌

ආණ්‌ඩුව ලබන බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ ඡන්ද ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


දැනටමත් ලක්‌ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර සහ මනූෂ නානායක්‌කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටින බව ප්‍රකාශ කර ඇත. මෙයට අමතරව , වයඹ හා බස්‌නාහිර යන පළාත්වල දිස්‌ත්‍රික්‌ක දෙකක්‌ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සංශෝධනයට පක්‌ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ. මොවුන් රජයේ ප්‍රබල ඇමැතිවරුන් සමග සාකච්ඡා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂයට කථානායකවරයා හැර මන්ත්‍රී ධුර 145 ක්‌ හිමි අතර එජාප මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා ආණ්‌ඩුව සමග සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අට දෙනාගේ ඡන්දයද ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ප්‍රකාශ කරන බව එම පක්‌ෂය ප්‍රකාශ කරන ලදී.

පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට මන්ත්‍රීවරු 150 දෙනෙකු අවශ්‍ය නමුත් දැනටමත් ආණ්‌ඩුවට මන්ත්‍රීවරුන් 154 දෙනෙකුගේ සහාය හිමිව තිබේ.

අගමැති දි. මු. ජයරත්න මහතා විසින් 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා කෙටුම්පත බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එදින රාත්‍රි 7.00 ට පනත පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරේ. (Divaina Irida)

No comments: