Action with a heart -sinhala

Sunday, September 5, 2010

හේලීස්‌ සමූහයට ඇග් - බිස්‌ සම්මාන උළෙලේදී රන් සම්මාන 4 ක්‌ ඇතුළුව සම්මාන 7 ක්‌

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට ලබා දෙන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් හේලීස්‌ සමූහයේ කෘෂි ආශ්‍රිත සමාගම් 2010 ජාතික ඇග්බිස්‌ සම්මාන උළෙලේදී සම්මාන හතක්‌ දිනා ගත් අතර, එය එම සම්මාන උළෙලේදී එක්‌ කණ්‌ඩායමක්‌ විසින් දිනාගන්නා ලද වැඩිම සම්මාන සංඛ්‍යාවද වෙයි.


මෙහිදී එච්. ෙ-. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ ලිමිටඩ්, සන්ෆේ‍රස්‌ට්‌ ලිමිටඩ් සහ හේලීස්‌ ඇග්‍රො ප්‍රොඩක්‌ස්‌ ලිමිටඩ් විසින් රන් සම්මාන හතරක්‌, රිදී සම්මාන දෙකක්‌ සහ ජාතික සම්මාන කාණ්‌ඩයේ ලෝකඩ සම්මානයක්‌ හිමිකර ගත්හ.

හේලීස්‌ සමූහය මෙම සම්මාන උළෙලේ ජයග්‍රහණය හිමිකර ගත්තේ සාර්ථක පස්‌වන වසරට වන අතර, මෙවර සම්මානයට පාත්‍ර වීමට හේතුවූ කාරණා අතර කෘෂි ක්‌ෂේත්‍රයට නව සේවා හඳුන්වා දීම, සේවා ව්‍යාප්තිය, පර්යේෂණ සහ සංවර්ධනය, කාර්යාවලි වැඩිදියුණු කිරීම, රැකියා අවස්‌ථා ජනනය කිරීම, කෘෂිකාර්මික ක්‌ෂේත්‍රයේ යෙදවුම් සඳහා තිරසාර සැලසුම් හඳුන්වාදීම, නිෂ්පාදනය, අලෙවිකරණය සහ සත්ව සෞඛ්‍ය නිෂ්පාදන හඳුන්වාදීම යන කාරණා අයත් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම පලතුරු සහ එළවලු අපනයනකරුවා වන එච්. ඡේ. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ සමාගම "මහා පරිමාණ" කාණ්‌ඩය යටතේ අලෙවිකරණය සඳහා රන් සම්මානයක්‌ සහ ජාතික සම්මාන අතරින් ලෝකඩ සම්මානයක්‌ දිනා ගන්නා ලදී.

සම්මාන හිමිකරගත් හේලීස්‌ සමාගම් වල නියෝජිතයන් (වමේ සිට) කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී එම්. ඒ. රාජාප්, සත්ව සෞඛ්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය එස්‌. මල්ලවආරච්චි, හේලීස්‌ ඇග්‍රො ප්‍රොඩක්‌ට්‌ස්‌ ලිමිටඩ් හි අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී යූ. ඊ. ආර්. ගන්ගොඩ, හේලීස්‌ සමූහයේ විධායක අධ්‍යක්‍ෂ රිස්‌වි සහීඩ්, එච්. ඡේ. එස්‌. කොන්ඩිමන්ට්‌ස්‌ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්‍ෂක ඒ. සී. වික්‍රමනායක, කෘෂි නිෂ්පාදන අංශයේ ජාත්‍යන්තර අලෙවිකරණය සඳහා ප්‍රධානී රුවන් රාජපක්‍ෂ, භෝග ආරක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂක/ සාමාන්‍යාධිකාරී එස්‌. එම්. ගමගේ සහ හේලීස්‌ ඇග්‍රො ෆර්ටිලයිසස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් හි අධ්‍යක්‌ෂක සාමාන්‍යාධිකාරී නන්දලාල් පෙරේරා යන මහත්වරුන් ඡායාරූපයේ වෙති. (Divaina Irida)

පසුගිය වසරේ වැඩිම ආදායම් ලැබුවේ ජාතික රූපවාහිනියයි ප්‍රසන්න ජයසුන්දර නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් (අලෙවි

විද්යුත් මාධ්‍ය තරගකාරී බවින් ඉදිරියට ගමන් කරද්දී ඊට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ද ක්‍රියා කිරීම පැසසිය යුක්‌තකි. පෞද්ගලික නාලිකා බොහෝ අවස්‌ථාවල ශ්‍රී ලාංකික සංස්‌කෘතිය, සදාචාරය පිළිබඳ එතරම් අවධානයක්‌ යොමු නොකළත් ජාතික රූපවාහිනිය එකී සීමා මායිම් කඩා බිඳ දැමීමට ක්‍රියා නොකිරීම එහි සදාචාරත්මක අනන්‍යතාවයි. රටක ජාතික නාලිකාව ඒ රටේ සංස්‌කෘතිය, සදාචාරය පමණක්‌ නොව අභිමානය ද විය යුතුය. ජාතික රූපවාහිනිය ඒ සියලු තත්ත්වයන් රැක ගනිමින් මේ වන විට අනෙකුත් නාලිකා අභිබවමින් මූල්‍යමය ප්‍රතිලාභ අංශයෙන්ද පෙරමුණ ගෙන ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජෙනරාල් ප්‍රසන්න ජයසුන්දර මහතා පැවැසීය.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව ආරම්භ කළ යුගයේ කිසිම තරගයක්‌ තිබුණේ නැහැ. තරග කරන්න වෙනත් නාලිකා තිබුණේ නැහැ. නමුත් පෞද්ගලික නාලිකා ආරම්භ වුණාට පස්‌සේ නවීන තාක්‌ෂණයත් එක්‌ක ලෝකයේ විවිධ නාලිකාවල විකාශය කෙරෙන ජනප්‍රිය රැල්ලේ වැඩසටහන් අනුකරණය කරමින් විකාශය කරන්න පටන් ගත්තා. අපට අද වන විට එවැනි නාලිකා 16 එක්‌ක තරග කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක විශාල අභියෝගයක්‌ වුණත් මහජනතාවගේ පිළිගැනීම හා විශ්වාසය එදා සිට අද දක්‌වා නොවෙනස්‌ව පවතින නිසා ජාතික රූපවාහිනිය කිසි දවසක දෙවැනියා වුණේ නැහැ. මේ රටේ තියෙන දැවැන්තම නාලිකාව හැටියටත් හොඳම වැඩසටහන් සහිත නාලිකාව හැටියටත් මෙය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්‌තිය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය මගිනුයි. ජාතික රූපවාහිනිය සමග තවත් ප්‍රධාන නාලිකාවක්‌ අපට තිබෙනවා. එම අනෙක්‌ නාලිකාව මගින් දහවල් කාලයේ නේත්‍රා නමින් දෙමළ ජාතික ප්‍රේක්‌ෂකයන් උදෙසා වැඩසටහන් විකාශය කරනවා. රාත්‍රියේදී චැනල් අයි නමින් ක්‍රීඩා විකාශයක්‌ සිදු කෙරෙනවා. අපේ ගනුදෙනුකරුවන් සතුටට පත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව අපි ක්‍රියා කරනවා. අපිත් එක්‌ක එදා කාලයේ පටන් සිටි ගනුදෙනුකරුවන් තවදුරටත් රැක ගනිමින්, අලුත් ගනුදෙනුකරුවන් වැඩි වැඩියෙන් එකතු කර ගැනීම අපගේ කාර්යයි. මෙතැනදී වෙළෙඳ ප්‍රජාවගේ දැඩි නීති රීතිවලට අවනත නොවී ක්‍රියා කරන්න අපි වග බලා ගන්නවා. ඇතැම් නාලිකා වෙළෙඳ අරමුණු මත බාල වැඩසටහන්වලට වැඩි ප්‍රචාරයක්‌ ලබා දෙමින් බලහත්කාරයෙන් ඒවා ප්‍රේක්‌ෂකයන් අතර ජනප්‍රිය කරවන්න උත්සාහ කරනවා.

කිසියම් වැඩසටහනක ඕනෑවට වඩා ආරවුල් ස්‌වභාවයන් ඉස්‌මතු කළා ම ඒවාට මහජනතාවගේ තර්ක විතර්ක මතුවෙද්දී එවැනි වැඩසටහනක්‌ අතරතුර වෙළෙඳ දැන්වීමක්‌ ප්‍රචාරය කිරීමෙන් වෙළෙඳ ආයතනයේ අපේක්‌ෂාව ඉටු වෙන්නේ නැහැ.

වෙළෙඳ විරාමයකදී ප්‍රේක්‌ෂකයාගේ මනස නිදහස්‌ නම් පමණයි වෙළෙඳ දැන්වීමට හිත යොමු වෙන්නේ. ජනප්‍රිය රැල්ල පස්‌සේ ගිය වෙළෙඳ ආයතන අද වන විට අප වෙත වැඩි වශයෙන් නැඹුරුවී ඇත්තේ මේ යථාර්ථය ඔවුන්ගේ ප්‍රායෝගිකව අත්දුටු නිසා විය හැකිය. අනික අපි අපේ වැඩසටහනකට අනුග්‍රාහකයන් තෝරා ගනිද්දී ඒ වැඩසටහනේ අන්තර්ගතයට වඩාත්ම සුදුසු වෙළෙඳ ආයතනය තෝරා ගන්න ක්‍රියා කරනවා. නොගැලපෙන ආයතනයක්‌ වැඩි මිලකට ඉල්ලුවත් අපි දෙන්නේ නැත්තේ ඒකයි. මේ වනවිට වැඩිම ආදායමක්‌ ලබන රූපවාහිනි ආයතනය බවට අපි පත්වෙලා ඉවරයි.

පසුගිය වසරේ ආදායම් 14% කින් වැඩිවෙලා තියෙනවා. මේ වසරේ පළමු මාස හයේදීම අදාළ ඉලක්‌ක අභිබවා ගොස්‌ තිබෙනවා. ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක්‌ මාසයක්‌ ඇතුළත ලැබූ වැඩිම ආදායම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව පසුගිය මාසයේ දී උපයා ගනිමින් එය වාර්තාවක්‌ බවට පත් කර තිබෙනවා. අපේ ප්‍රේක්‌ෂකයන්, අනුග්‍රාහකයන් වෙළෙඳ නියෝජිතයන් වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාවේ අලෙවි අංශය ඇතුළු සියලුම අංශවල කාර්යක්‍ෂමතාව නිසා මෙවැනි ප්‍රගතියක්‌ දිනෙන් දින අපට හිමි වන බව මම ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කරන අතර ඒ සියලු දෙනාටම අපගේ ස්‌තුතිය පළ කරනවා. ප්‍රසන්න මහතා පැවැසීය.

ජාතික රූපවාහිනිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව එහි වැඩබලන අධ්‍යක්‌ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ මහතා සමග ද අපි සාකච්ඡා කළෙමු.

ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා

දේවප්‍රිය අබේසිංහ වැඩ බලන අධ්‍යක්‌ෂ ජෙනරාල්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථාව

"අපේ වැඩසටහන් සියල්ලම වගේ අපි අලුත් ආරකට ඉදිරිපත් කරගෙන යනවා. ඉතාම මෑතකදී ඒ වෙනස්‌කම් සිදු කළා. රාත්‍රි 10 න් පසුව විකාශය කෙරෙන වැඩසටහන්වලට ප්‍රේක්‌ෂක ප්‍රතිචාරය තරමක්‌ අඩුවෙලා තිබුණා. නමුත් මේ වනවිට රාත්‍රි 10 න් පසුව විකාශය කරන වැඩසටහන්වලට විශාල ඉල්ලුමක්‌ ඇති වී තිබෙනවා. නව සභාපති සරත් කෝන්ගහගේ මහතාගේ පැමිණීමෙන් පසු මෙම වෙනස්‌කම් සිදු කළා. විශේෂයෙන්ම අපි රාත්‍රි 10.05 ට අලුත් විකාශන කාලයක්‌ හඳුන්වා දුන්නා. සතියේ දිනවලින් එක දවසක්‌ දේශපාලන වැඩසටහනකට වෙන් කළා. අනිත් දවස්‌වල සංගීතමය වැඩසටහන් කලාත්මක වැඩසටහන් චිත්‍රපට විනෝදාත්මක වැඩසටහන් අපි විකාශය කරනවා. මේ සඳහා ඉහළම ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒත් එක්‌කම දිනපතා රාත්‍රි 9.00 අපි ටෙලි නාට්‍ය සඳහා වෙන්කර තිබෙනවා. දැනට අපි ඒ වෙලාව ප්‍රේක්‌ෂකයන්ට හුරුවීම සඳහා කලින් විකාශය වුණු වැඩි ප්‍රතිචාර ලැබුණු ටෙලි නාට්‍ය නැවත විකාශය කරනවා. ඉදිරියේදී අලුත් ටෙලි නාට්‍ය ඒ වෙලාවට විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් ටෙලි නාට්‍ය 150 ක්‌ පමණ විකාශය සඳහා වේලාවන් ලබාදීමට පෝළිමේ තිබෙනවා. අනෙකුත් නාලිකාවල ටෙලි නාට්‍ය ඕනෑතරම් විකාශය වූවත් තවමත් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරු බලාපොරොත්තු වෙන්නේ ජාතික රූපවාහිනිය ඔස්‌සේ ටෙලි නාට්‍යයක්‌ විකාශය කිරීමටයි. ඔවුන් ඒ වෙනුවෙන් අවුරුදු දෙක තුනකට වැඩිය වුවත් බලාගෙන ඉන්නවා. මේ නිසා ටෙලි නාට්‍ය සඳහා විශාල තදබදයක්‌ අපට තියෙනවා. මේක අපි මුහුණ පාන විශාල අර්බුදයක්‌ බවටත් පත්වෙනවා. ටෙලි නාට්‍යවලට අමතරව සති අන්තයේ විශේෂ වැඩසටහන් කිහිපයක්‌ හඳුන්වාදී තිබෙනවා. වැඩි ඉල්ලුමක්‌ ඇති ආයුබෝවන් වැසටහනත් නව ආරකින් විකාශය කරනවා. අලුත් ගීත රැසක්‌ අපි ඉදිරිපත් කරනවා. ජනප්‍රිය සංගීත කණ්‌ඩායම් හා නවක ගායක ගායිකාවන්ට අවස්‌ථාව උදාකර දෙන වැඩසටහන් අපි අලුතෙන් හඳුන්වා දුන්නා. ලබන මාසේ සිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මුළුමනින්ම වෙනස්‌ කරනවා. තේමා වාදනයේ සිට සියල්ලම වෙනස්‌ කරන අතර පක්‌ෂ භේදයකින් තොරව සමබර ප්‍රවෘත්ති ගෙන එන්නත් විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ අවස්‌ථා රූපවාහිනි වැඩසටහන් ඔස්‌සේ ලබා දෙන්නත් අපි පියවර ගෙන තිබෙනවා. මේක ඉදිරියේදී ලොකු වෙනසක්‌ වගේම ඉහළම ප්‍රතිචාර ලැබේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ඒත් එක්‌කම රාත්‍රි 7 ටත් ටෙලි නාට්‍ය විකාශන කාලයක්‌ අපි හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව සම්භාව්‍ය සංගීත වැඩසටහන් ඉරිදා රාත්‍රි 11.00 ට විකාශය කෙරෙනවා. මේ වැඩසටහන් බොහෝ දෙනෙක්‌ හොඳ ප්‍රතිචාර දක්‌වා තිබෙනවා. විශේෂයෙන්ම ශාස්‌ත්‍රීය සංගීතය හදාරණ පිරිස මේ ගැන උනන්දුයි.

අපි ගොඩක්‌ වෙලාවට රේටින් මත පදනම් වෙලා වැඩසටහන් කරන්නේ නැහැ. මොකද රේටින්ස්‌ මනින ක්‍රමය පිළිබඳව අපට කිසිම විශ්වාසයක්‌ නැහැ. රේටින්ස්‌වලින් සමහර නාලිකා ඉහළින්ම ඉන්න බව ඒ අයම ප්‍රකාශ කළත් ආදායම අතින් අපට කිට්‌ටු වෙන්නවත් අනෙකුත් නාලිකාවලට පුළුවන්කමක්‌ නැහැ. ආදායම අතින් කිසිම තරගකාරිත්වයක්‌ අනෙකුත් නාලිකා සමග අපට නැහැ. රේටින්ස්‌ බලලා තමයි වෙළෙඳ ආයතන වැඩකරන්නේ. එහෙම තිබිලත් අපට විශාල ආදායමක්‌ හිමි වෙනවා. ඒත් එක්‌කම කිවයුතු දෙයක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්‌ම ආවරණය කරන එකම රූපවාහිනි නාලිකාව වන්නෙත් අපියි. කොකාවිල්වල අපි අලුතෙන් විකාශන කුළුණක්‌ හදාගෙන යනවා. මේ වසර අවසන් වෙද්දී ඒ හරහා ඩිජිටල් තාක්‌ෂණය ඔස්‌සේ විකාශන කටයුතු ආරම්භ කරනවා. රූපවාහිනි ඩිජිටල් විකාශනයක්‌ මුලින්ම ආරම්භ කරන්නෙත් අපියි. එයත් රූපවාහිනි ඉතිහාසයේ වැදගත් අවස්‌ථාවක්‌ බවට පත්වේවි. (Divaina Irida)

ධුර කාලයේ සීමාව ඉවත් කිරීම රටට වැඩ කිරීමට අලුත් ශක්‌තියක්‌ ලබා දෙනවා - ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 18 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක්‌ ආණ්‌ඩුව විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. එම සංශෝධනය ඉදිරිපත් කිරීම, විපක්‍ෂයේ මන්ත්‍රීවරු ආණ්‌ඩු පක්‍ෂයට එකතුවීම යන කාරණා මූලික කර ගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවයි මේ.


ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ඔහුගේ දෙවන ධුර කාලයේ දිවුරුම් දීමවත් සිදුකර නැහැ. එසේ තිබියදී ලහි ලහියේ ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනේ සීමාව ඉවත් කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනයක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ ඇයි? තමන්ගේ පරපුරම බලය තබාගෙන කටයුතු කිරීම සඳහා යන ගමනට මෙමගින් පදනම දමනවාද?

පිළිතුරු - ඇත්ත වශයෙන්ම මේ කටයුත්ත ලහි ලහියේ කරන ලද්දක්‌ නෙමෙයි. පසුගිය වාරයේ අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරපු වෙලාවෙත් මේක සාකච්ඡා කළා. මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළ මේ ගැන ඊට වැඩිය සාකච්ඡා වුණා. දැනට මාස දෙකකට පමණ පෙරයි, මේක ඉදිරිපත් වුණේ. දැන් අවසන් කෙටුම්පත සකස්‌ කරලයි මේක ඉදිරිපත් කළේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකුට සහයෝගය දීම සඳහා ජ.වි.පෙ. කොන්දේසි හතරක්‌ දැම්මා. එයින් ප්‍රමුඛම කොන්දේසිය වුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. එතැනදී අපි කිව්වේ, අපි ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්නේ නැහැ කියලයි. අපි මහින්ද චින්තනයේදී කිව්වේ, ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරනවා කියලයි. නමුත් මහින්ද චින්තන ඉදිරි දැක්‌මේදී අපි කිව්වේ, ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවත් සමග බැඳෙන, ව්‍යවස්‌ථාදායකයත් එක්‌ක සම්බන්ධ වෙන තනතුරක්‌ බවට පත් කරනවා කියලයි. එදා මහින්ද චින්තනයට දුන් ජනවරමටත් වඩා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියූ පොදු අපේක්‍ෂකයාටත් වඩා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ජනතාව අනුමත කළා.

අපේ රටේ පරමාධිපත්‍ය බලය උසුලන්නේ ජනතාව. ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනික්‌ සියල්ලටම වඩා උතුම්. ජනතාවගෙන් වැඩි දෙනෙක්‌ ගන්නා වූ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි, කියන එකයි මේ පරමාධිපත්‍යය කියලා කියන්නේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කළ හැකි ක්‍රම කිහිපයක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙනවා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවෙන් පරිච්ඡේදයේ හතර වෙනි වගන්තියේ මෙහෙම තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් නොහළ හැක්‌කේය. පරමාධිපත්‍යයට පාලන බලය මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත් වන්නේය.

පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම, භුක්‌ති විඳීම මතු දැක්‌වෙන ආකාරයෙන් තිබිය යුතුය.

1. ජනතාවගේ ව්‍යවස්‌ථාපිත බලය, ජනතාව විසින් තෝරා පත්කරනු ලබන මන්ත්‍රීවරයාගෙන් සමන්විත, පාර්ලිමේන්තුවක්‌ විසින්ද ජනමත විචාරණයකදී පමණක්‌ ජනතාව විසින් ක්‍රියාත්මක කළ යුතුය.

රටේ ආරක්‍ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

මෙතැනදී ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ අයිතියක්‌ ජනතාවට තියෙනවා. ඒ සඳහා බාධා තිබෙනවානම් ජනතා පරමාධිපත්‍යයට ඒක හානියක්‌. මේ නිසා ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණනට සීමා පනවන්න පුළුවන් කමක්‌ නැහැ. ජනතාව විසින් දෙවරක්‌ තෝරා පත්කර ගත් අයෙකුට ජනාධිපතිවරයා වීමට නොහැකිය යන කොන්දේසිය, බැලුවොත්, ඒක ඉතාම අසාධාරණ කොන්දේසියක්‌. ජනතාවගේ කැමැත්ත කියන එක දෙවරක්‌ ලැබුණු පුද්ගලයෙකුට ජනතාව ඉදිරියට යළි යන්න බැහැ කියන එක සාධාරණ නැහැ. මේක කුමන අන්දමින්වත් ජනතාවගේ ධූර කාලය දීර්ඝ කර ගැනීමක්‌ නොවෙයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ අවුරුදු හයේ ධූර කාලය අවුරුදු දොළහක්‌ කරන එක නෙමෙයි. ජනතාවට තෝරා ගැනීම සඳහා අයිතියට දමන ලද සීමාවන් ඉවත් කිරීමක්‌ පමණයි මෙතැනදී වෙන්නේ.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයන් ලෙස පිළිගැනෙන ඇමරිකානු එක්‌සත් ජනපදයේ ජනාධිපතිවරයාට තම ධුර කාලය දෙවරකට වඩා දැරිය නොහැකි බවට වන සීමාවක්‌ එම ව්‍යවස්‌ථාවෙන්ම තිබෙනවා. එසේ තිබියදී, මෙරටදී එම සීමාව ප්‍රජාතන්ත්‍රවාදයට, ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක්‌ යෑයි ඔබ සඳහන් කරන්නේ කෙසේද?

පිළිතුරු - ඇමරිකාවේ සීමාවක්‌ තිබීම, අපේ රටේ සීමාවක්‌ නොතිබීමට බාධාවක්‌ කරගත යුතුද? මේ රටේ දෙවරක්‌ ජනාධිපති වීමට සුදුසුවන පුද්ගලයාට යළිත් ජනතාවගේ වරම ලැබීම සඳහා නුසුදුසුකමක්‌ තිබෙනවා. ඒ නුසුදුසුකම තමයි දෙවරක්‌ ජනාධිපති වීම. එවැනි බාධා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් වන්නේ නැහැ.

ප්‍රශ්නය - චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදී මෙවැනි තත්ත්වයක්‌ තිබුණා නම් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා. මේ නිසා මෙම සීමාව ඉවත් කිරීම ජනතාවගේ තේරීම පටු කිරීමට බලපාන්නේ නැද්ද?

පිළිතුරු - ජනතාවට එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යළිත් වරක්‌ තෝරා ගැනීමට අවශ්‍යතාවයක්‌ තිබුණා නම් එම අයිතිය දිය යුතුයි. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා මෙම වගන්තිය ව්‍යවස්‌ථාවට ඇතුල් කළේ තමන්ට වාසිදායක ක්‍රමයට. ජනතාව විසින් දෙවරක්‌ තෝරාගත් ජනාධිපතිවරයෙක්‌ යන වගන්තිය තුළින් ඔහු අදහස්‌ කළේ, ඔහු ජනතාව විසින් ජනාධිපති ලෙස තෝරා ගත්තේ එක්‌ වරක්‌ පමණක්‌ නිසා, තවත්වාරයකට යන්නයි. ඒ අනුව තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට ඕනෑ වුණා. ඔහු ඒ සඳහා කමිටුවකුක්‌ පත් කළා. නමුත් එදා මේ රටේ හැම ගහකම, ගලකම, ලයිට්‌ කණුවකම තිබ්බේ ඡේ. ආර්. පන්නමු, මරව් කියලයි. මේ නිසා ජනතාවට ඡේ. ආර්. එළවන්න ඕනේ කියන අදහස තිබුණා. ඒ නිසා ඡේ. ආර්. ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්‌ථාව තිබුණත් පක්‍ෂය හා ජනතාව තුළින් එය සීමා වුණා. එදා තෙවෙනි වරට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව චන්ද්‍රිකාට ව්‍යවස්‌ථාවෙන් තිබුණේ නැහැ. නමුත් මෙතැනදී එම අවස්‌ථාව චන්ද්‍රිකාට යළිත් ලැබිලා තිබෙනවා.

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ගත කරන්නේ ඔහුගේ පළමු ධුර කාලය. ඔහුගේ දෙවෙනි ධුර කාලය සඳහා දිවුරුම් දීමටත් පෙර මෙවැනි සංශෝධනයක්‌ සඳහා ආණ්‌ඩුව යොමුවුනේ ඇයි?

පිළිතුර - ඒක ඉතාම වැදගත් කාරණයක්‌. ඒක තමයි මෙතැන තියෙන හරය. ජනාධිපතිවරයා තෙවැනි වරටත් ඡන්දයකට ඉදිරිපත් වීම නොවෙයි. ජනාධිපතිවරයාට ලැබුණු ධුර කාලයේ දී ඔහුට ජනතාව ලබාදුන් බලය බයක්‌ සැකක්‌ නැතිව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලබා දීමක්‌ මෙතැනදී කෙරෙනවා. ජනතාවට වැඩ කරන්න, රටට වැඩ කරන්න, ජනාධිපතිවරයාට මෙයින් බලය ලැබෙනවා. මෙතැනදී පැහැදිළිව බලන්නá ඡේ. ආර්., චන්ද්‍රිකා, ක්‌ලින්ටන්, බුෂ් ආදී අයගේ පළවෙනි ධුර කාලය යි, දෙවෙනි ධුර කාලය යි අතර වෙනස. මේ ආදී සෑම ජනාධිපතිවරයෙකුගේම දෙවෙනි ධුර කාලයේදී ජනතා හිතවාදී පියවර වලට ගියේ නැහැ. ඔවුන් යළිත් ජනතාව ඉදිරියට නොයන හින්දා හිතුමතේ කටයුතු කළා. ඒ වගේම එම ආණ්‌ඩුවල ස්‌ථාවර භාවය නැති වුණා. චන්ද්‍රිකා මැතිනිය එතුමියගේ දෙවෙනි ධුර කාලයේදී, පාර්ලිමේන්තු මැතිවරණය දින්නා. නමුත් හකීම්ගෙන් පටන්ගෙන එස්‌. බී. ඇතුළු පිරිස්‌ ආණ්‌ඩුවෙන් ගිහිල්ලා ආණ්‌ඩුවද වැටුණා.

ඡේ. ආර්. ජයවර්ධනගේ අවසාන කාලයේදී මුළු රටම අරාජික වුණා. ක්‌ලින්ටන් බැලුවත් එහෙමයි. පුද්ගලික චරිතය කැලැල් කර ගනිමින් ඇමරිකානු ඉතිහාසයේ ඔහු නම සටහන් කරගෙන ජනතාවගෙන් සමාව ඉල්ලුවා. බුෂ්ගේ දෙවෙනි පාලන කාලයේ දී මුළු ඇමරිකානු ආර්ථිකයම කඩාගෙන වැටුණා.

දෙවෙනි ධූර කාලය දරන ජනාධිපතිවරයෙකු වැඩ කරන්නේ "මම යළිත් ජනතාව ඉදිරියට යන්නේ නැහැ" කියන අදහසෙනුයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් ඔවුන් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි ධුර කාලය වනවිට නිලධාරින්, ඇමැතිවරු ආදී පුද්ගලයන් කල්පනා කරන්නේ, "මෙයාගේ කාලේ ඉවර වේගෙනයි යන්නේ, ඊළඟට එන්නේ කවුද?" කියලයි. මෙහෙම ගියාම රටට මොකක්‌ද වෙන්නේ. රටේ දේශපාලන අස්‌ථාවර භාවයක්‌ මතුවෙනවා.

ප්‍රශ්නය - ජනතාවගේ පරමාධිපත්‍ය සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව ඔබ දිගින් දිගටම පවසනවා. නමුත් මෙම ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කර ගැනීම සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරු බිලිබා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කරගනිමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්‍ෂය යනු අත්‍යාවශ්‍ය සාධකයක්‌. විපක්‍ෂ මන්ත්‍රීවරු බිලි බා ගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කෙරෙන අතුල් පහරක්‌ නොවේද?

පිළිතුරු - මෙතැනදී පැහැදිළිවම කිව යුත්තේ, මේ බිලි බා ගැනීමක්‌ නොවෙයි. මේ මන්ත්‍රීවරු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය. ඔවුන් ජනතාවගේ අදහස්‌ දන්නවා. රටේ ජනතාව ඉන්නේ කොයි පැත්තේද ඒ වෙලාවේ මන්ත්‍රීවරු හැසිරෙන්නේත් ඒ ආකාරයෙන්. ඒ නිසා තමයි මේ මන්ත්‍රීවරු අප සමග එක්‌ වන්නේ. එදා ත්‍රස්‌තවාදයට එරෙහිව අපි මානුෂික මෙහෙයුම කරනකොට අයවැය පරාජය කරන්න, ආණ්‌ඩුව වට්‌ටන්න පාර්ලිමේන්තුව තුළ සැලැස්‌මක්‌ තිබුණා. එතැනදී ජනතාව සිටියේ අපිත් සමග. ඒ නිසා ජනතා නියෝජිතයන් පිරිසක්‌ විපක්‍ෂයේ ඉඳලා ඇවිල්ලා අපිත් සමග එකතුවෙලා ජනතාවගෙ මතය අනුව කටයුතු කළා. එතැනදී අපේ මන්ත්‍රීවරු හතර දෙනෙක්‌ විපක්‍ෂයට ගියා. ඒ ගැන කතා කරන කොට බිලිබා ගන්නවා කියලා කියන්නේ නෑනේ. මේ වෙන්නේ බිලි බා ගැනීමක්‌ නෙවෙයි. ජනතාවගේ මතය අනුව මන්ත්‍රීවරු හැසිරීමක්‌. ශ්‍රී ල.නි.ප.යත් බිහි වුණෙත් මේ වගේ පිල් මාරුවක්‌ නිසයි. බණ්‌ඩාරනායක මහතා හා ඩී. ඒ. රාජපක්‍ෂ මහතා එදා එ.ජා.ප.යේ සිට විපක්‍ෂයට ආවා. සිංහල මහ සභාව හරහා තමයි ඔවුන් එ.ජා.ප.යට ඇතුල් වුණෙත්. මෙහිදී එම ජනතාවගේ අදහස්‌ ඔවුන්ට බලපෑවා.

ප්‍රශ්නය - ආණ්‌ඩු පක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ ආසන 146 යි. එතැන් සිට ව්‍යවස්‌ථා සංශෝධනයට අවශ්‍ය ඉතිරි ඡන්ද ලබා ගැනීම සඳහා ආණ්‌ඩුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්‍ෂා කරනවා. ඒ කියන්නේ මේ ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වන්නේ තුනෙන් දෙකේ බහුතරයකින් වුවත්, ඒ සියල්ල ආණ්‌ඩුවටම ලැබුණු ඡන්ද නොමෙයි, කියන එකනේ. එසේ නම් තමන්ට ලැබුණු ජනවරමෙන් ව්‍යවස්‌ථාව සංශෝධනය කරනවා යෑයි ආණ්‌ඩුව කියන කතාව අසත්‍යයක්‌ නේද?

පිළිතුරු - මේ ව්‍යවස්‌ථාව හැදුවේ කුමන තත්ත්වයක පාර්ලිමේන්තුවක්‌ද? එයට එදා ලැබුනේ කෙබඳු ජනවරමක්‌ ද? මේ ව්‍යවස්‌ථාව 1978 හදන කොට එ.ජා.ප.යට 1977 දී ඡන්ද ලැබුණේ තිස්‌එක්‌ලක්‍ෂ හැත්තෑ නවදහස්‌ දෙසිය විසිඑකයි. එය ප්‍රතිශතයක්‌ ලෙස 50.9% යි. කේවල ක්‍රමය නිසා එදා පාර්ලිමේන්තු නියෝජනයේ ආණ්‌ඩු පක්‍ෂය හයෙන් පහක්‌ වුණා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී හැට ලක්‍ෂ පහළොස්‌ දහස්‌ නවසිය තිස්‌ හතරක ඡන්ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ලැබුණා. එය ප්‍රතිශතයක්‌ ලෙස 57.88% යි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී 60.33% ක ඡන්ද ප්‍රතිශතයක්‌ අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ 1977 දී මෙම ව්‍යවස්‌ථාව නිර්මාණය කරන්න ලැබුණු ජනවරමටත් වඩා වැඩි ජනවරමක්‌ මෙම සංශෝධනය සඳහා ලැබී තිබෙනවා. ඊට අමතරව නුවර දී එ.ජා.ප.යෙන් පළවෙනියා වුණු කාදර් මහතා, නුවර එළියේදී මනාපයෙන් පළවෙනියා වුණු දිගම්බරම් මහතා, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එකම දෙමළ මන්ත්‍රීවරයා වන ප්‍රභා ගනේෂන් මහතා ඇතුළු එ.ජා.ප.යට මඩකලපුවෙන් ආපු එකම මන්ත්‍රීවරයා, ත්‍රිකුණාමලෙන් එ.ජා.ප.යෙන් ආපු එකම මන්ත්‍රීවරයා, අම්පාරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙන්නාම, ඒ කියන්නේ මුළු නැගෙනහිර පළාතෙන්ම එ.ජා.ප.යෙන් ආපු මන්ත්‍රීවරු හතර දෙනාමත් මෙම සංශෝධනයට සහාය පළ කරනවා. උතුරෙන් එ.ජා.ප.යෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක්‌කෙනෙක්‌, නුවර එළියේ දී එ.ජා.ප.යෙන් දෙවෙනියා වෙමින් පත්වූ හකීම් මහතාත් මෙයට සහාය දෙනවා. මේ සංශෝධනය ඇත්තටම මේ ව්‍යවස්‌ථාව නිර්මාණය කර සම්මත කර ගත්තාටත් වැඩිය, ජනතා අනුමැතියක්‌ ලැබී තිබෙනවා. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට ජවිපෙ රහස්‌ ඡන්දයක්‌ ඉල්ලයි

18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා 08 වැනිදා, පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුම රහස්‌ ඡන්දයක්‌ ලෙස පැවැත්විය යුතු යෑයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.


ඒ සඳහා එක්‌සත් ජාතික පක්‌ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ නොකළහොත් තම පක්‌ෂය එම ඉල්ලීම කරන බවද මන්ත්‍රීවරයා පැවැසීය.

රහස්‌ ඡන්දයක්‌ පවත්වනවාද, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසනවාද, යන්න පිළිබඳ තීන්දුව ලබාදීම කථානායකවරයා සතු බවද හේරත් මහතා පැවැසුවේය. (Divaina Irida)

ඉවත දමන කල් ඉකුත් වූ ආහාර බලෙන් රැගෙන විකුණන කල්ලියක්‌

ආනයනය කරන ලද පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට රැගෙන යද්දී ඒවා අතරමඟදී හොර රහසේම ලබාගෙන නැවත අලෙවි කරන කණ්‌ඩායමක්‌ පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්‌ඨාශය වෙත ලැබී ඇත.


මෙම සංවිධානාත්මක කණ්‌ඩායම සමඟ කොළඹ පාතාලයේ ප්‍රබලයන් කීපදෙනෙකු ද සම්බන්ධ වී සිටින බව පොලිස්‌ අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා පවසයි. මේ ආකාරයට වෙළෙඳපොළට එන පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම නිසා මහජනතාවට නොයෙකුත් ලෙඩ රෝග වැළඳීමට ඉඩ ඇති බව ද ඒ මහතා කියා සිටියි.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායම පිළිබඳව තොරතුරු ලැබීම නිසා විනාශ කිරීමට රැගෙන ගිය පාවිච්චියට නුසුදුසු ආහාර සහිත කන්ටේනර් රථ 4 කට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා ආරක්‍ෂාව ලබා දීමට කොළඹ අපරාධ කොට්‌ඨාශය කටයුතු කර තිබේ.

කොළඹ වරායෙන් ඉවත් කරන ආනයනික කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රථවල බහාලූ ආහාර විනාශ කිරීම සඳහා රැගෙන යද්දී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම විසින් අතරමගදී ඒවා ඔවුන්ට අයත් ලොරි වලට පටවා ගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

මෙම ක්‍රියාව සඳහා වරායේ ඇතැම් සේවකයන් ද සම්බන්ධ බව පොලිසිය පවසයි.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නිට්‌ටඹුව දඩගමුව ප්‍රදේශයේ ස්‌ථාන කීපයකදී වළ දමා විනාශ කරන අතර ඒවා එම ස්‌ථානවලට රැගෙන යද්දී අතරමඟදී මෙසේ ලබාගෙන රුපියල් කෝටි ගණනින් මුදල් උපයාගන්නා බව පොලිසිය පවසයි.
මෙම ජාවාරම දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඉතාම සංවිධානාත්මක ආකාරයට සිදු කෙරී ඇති අතර පාවිච්චියට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක්‌ නැවත වෙළෙඳපොළට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සංවිධානාත්මක කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. (Divaina Irida)

ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එජාපයෙන් මන්ත්‍රීවරු හයක්‌

ආණ්‌ඩුව ලබන බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු පමණ ඡන්ද ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


දැනටමත් ලක්‌ෂ්මන් සෙනෙවිරත්න, අර්ල් ගුණසේකර සහ මනූෂ නානායක්‌කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුය යන මතයේ සිටින බව ප්‍රකාශ කර ඇත. මෙයට අමතරව , වයඹ හා බස්‌නාහිර යන පළාත්වල දිස්‌ත්‍රික්‌ක දෙකක්‌ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සංශෝධනයට පක්‌ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බවද වාර්තා වේ. මොවුන් රජයේ ප්‍රබල ඇමැතිවරුන් සමග සාකච්ඡා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂයට කථානායකවරයා හැර මන්ත්‍රී ධුර 145 ක්‌ හිමි අතර එජාප මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා ආණ්‌ඩුව සමග සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අට දෙනාගේ ඡන්දයද ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‌ෂව ප්‍රකාශ කරන බව එම පක්‌ෂය ප්‍රකාශ කරන ලදී.

පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට මන්ත්‍රීවරු 150 දෙනෙකු අවශ්‍ය නමුත් දැනටමත් ආණ්‌ඩුවට මන්ත්‍රීවරුන් 154 දෙනෙකුගේ සහාය හිමිව තිබේ.

අගමැති දි. මු. ජයරත්න මහතා විසින් 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා කෙටුම්පත බදාදා (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එදින රාත්‍රි 7.00 ට පනත පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරේ. (Divaina Irida)

Saturday, September 4, 2010

මරණ දඬුවමෙන් ගැලවෙන්න බිමට පැන අඬු කඩා ගනී

යාපනයේ ද්‍රවිඩ ජාතිකයකුට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ මොහොතේ ඔහු මහාධිකරණයේ උඩුමහලෙන් බිමට පැන පලායැමට තැත් කරද්දී ඇද වැටීම නිසා අසුවීමේ සිද්ධියක්‌ වාර්තා වේ.


තම පුත්‍රයාව මරා දැමීම සම්බන්ධයෙන් මොහුට යාපනයේ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරන ලදී.

රාසකුමාර් රාඡ්කුමාර් නමැති මොහුට එරෙහිව 2003 සිට නඩු විභාගය පවත්වා තිබිණි.